slc
Home   |    News
දෙසැම්බර් 19, 2022
අවසන් මොහොතේ දඹුල්ල දින්නත් ගෝල් අවසන් 4ට

sinhala editor

Chamila Karawita

මේ මස 21 වැනිදා සිට ආරම්භවන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පිළිමලුන් පිටුදැකීමේ තරග වටයට සුදුසුකම් ලැබීම වෙනුවෙන් අවසන් අවස්ථාව බවට පත් වුණු ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව අද (19 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට දඹුල්ල අවුරා පිල සමත් වුවත්, ප්‍රමාණවත් තරම් වූ ශුද්ධ දළ ලකුණු වේගයක් රදවා ගැනීමට අපොහොසත් වීම නිසා අවසන් කණ්ඩායම් 4 වටය පිළිබඳ බලාපොරොත්තු බිඳ වැටිණ.

ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි සහ පස්වැනි ස්ථානව රැඳෙමින් අද තරගයේදී මුණ ගැසුණු දෙපිළෙන් ගෝල් පිල පස්වැනි තැනට ඇද දැමීමට නම් දඹුල්ල අවුරා පිලට ලකුණු 130 ක ඉලක්කය පන්දුවාර 11 කුත් පන්දුවකදී සපුරා ගැනීමට නියමිතව තිබිණ.

ආරම්භයේ සිටම ප්‍රවේගකාරී පිතිහරඹ රටාවක නියැළුණිද එම ඉලක්කය සපුරා ගැනීම සඳහා දඹුල්ල කණ්ඩායමට පන්දුවාර 14.2 කට මුහුණ දීමට සිදුවිය. මෙතෙක් එක් තරගයක් පමණක් ජයගෙන සිටි දඹුල්ල කණ්ඩායමට අවසන් කණ්ඩායම් 4 අතර තරග වටය මඟ හැරුණද තරගාවලිය ගෞරවාන්විතව අවසන් කරගැනීමේ අවස්ථාව හිමිවිය.

නායක දසුන් ශානකත්, භානුක රාජපක්ෂත් නොමැතිව තරග වැදි අවුරා පිල වෙනුවෙන් තුන් ඉරියව්වෙන්ම දස්කම් පෑ මැතිව් ෆෝඩ් පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද පෙරමුණ ගත්තේය. පළමු කඩුලු 2 ලකුණු 20 කදී බිඳ වැටුණද තෙවැනි කඩුල්ලට එක් වුණු කොක්ස් සහ ෆෝඩ් පන්දු 41 කදී ලකුණු 79 ක් එක් කළහ. මෙම තරගයේ නියමුවා වූ ෆෝඩ් හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමඟ පන්දු 30 කදී ලකුණු 52 ක් ලබා ගනිමින් දඹුල්ල ජය ඉක්මන් කළේය. ඔහට අනගි සහායක් ලබා දුන්  ජෝර්ඩ්න් කොක්ස් පන්දු 21 කදී ලකුණු 34 ක් ලබා ගත්තේය.

විස්සයි-20 තරග රටාවේ පන්දුවාර 2 කදී තරගයක් කෙතරම් වෙනස් කිරීමට හැකියාවක් තිබේද යන්න හොඳම උදාහරණය බවට පත්වූයේ ග්ලැඩියේටර් ඉනිමේ අවසන් පන්දුවාර 2 දෙස නිරීක්ෂණය කිරීමේදීය. අවසන් කණ්ඩායම් 4 අතරට පිවිසීමට නම් ගෝල් පිල ලබා ගත් ලකුණු සංඛ්‍යාව අඩු පන්දුවාරය සංඛ්‍යාවකින් ලබා ගත යුතුවීමේ වගකීම දඹුල්ල හමුවේ පැවැතිණ. ඒ සඳහා ආරම්භයේ සිටම ඉතාමත් නිවැරදිව පන්දු යැවූ ඔවුහු 18 වැනි පන්දුවාරය අවසන් වන විට කඩුලු 8 කට ලකුණු 89 ක් වශයෙන් තබා ගැනීමට දඹුල්ල කණ්ඩායම සමත්විය.

අසීරුව සිටි ග්ලැඩියේටර්ස් ඉනිම තනිකරම වෙනස් වූයේ එම පන්දුවාර 2 දී නුවනිදු ප්‍රනාන්දු දියත් කරන ද පිති ප්‍රහාරය හේතුවෙනි. නූර් අහමඩ් විසින් යවන ලද 17 වැනි පන්දුවාරයේදී ලකුණු 15 ක් උදුරා ගන්නා නුවනිඳු නැවතත් සිකන්දර් රාසා විසින් යවන ලද 20 වැනි පන්දුවාරයේදී 25 ක් ලබා ගත්තේ තමා මුහුණ දුන් අවසන් පන්දු 9 න් ලකුණු 34 ක් ලබා ගනිමිනි.

ගොල් ඉනිම අවසන් වන විට හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් සමඟින් පන්දු 42 කදී නොදැවී ලකුණු 63 ක් ලබා ගෝල් ඉනිමට ජීවය ලබා දීමට නුවනිදු සමත්ව සිටියේය. පවර් ප්ලේ පන්දුවාර 6 අවසන් වීමට මත්තෙන් ගෝල් කණ්ඩායමේ ඉදිරි ‌පෙළ පිතිකරුවන් තිදෙනාව නරඹන්නන් බවට පත් කිරීමට මැතිව් ෆෝඩ් සමත්වූවේය. තනුක දාබරේ (07), කුසල් මෙන්ඩිස් (17) සහ ඔෂද ප්‍රනාන්දු (00) පිටියෙන් ඉවත් වන විට ලකුණු පුවරුව යන්තම් ලකුණු 31 ක්ව සටහන්ව තිබිණ.

නුවනිඳු හැරුණු කොට එම ඉනිමේ එකම පිතිකරුවකුට ලකුණු 17 සීමාව ඉක්මවාලීමට අවුරා පන්දු යවන්නෝ ලබා නොදුන්හ. ඒ අතරින් කැපී පෙනුණු මැතිව් ෆෝඩ් පන්දුවාර 4 දී ලකුණු 11 ක් පමණක් ලබා දී කඩුලු 4 ක් දවා ගත්තේ ඉනිමේ හොදම පන්දු යැවීම සටහන් කර ගනිමිනි. තුන් ඉරියව්වෙන්ම දැක්වූ දස්කම් හේතුවෙන් තරගයේ වීරයා සම්මාන මැතිව් ෆෝඩ්ට හිමිවිය.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest