slc
Home   |    News
ජනවාරි 4, 2023
‘පිතිකරුවන් මීට වඩා දෙයක් කළ යුතුව තිබුණා’ – නවීඩ් නවාස්

sinhala editor

ඉන්දියාවට එරෙහිව පැවැති පළමු විස්සයි-20 තරගයේදී මුල් පෙළ පිතිකරුවන්ගෙන් මීට වඩා සහායක් ලැබුනේ නම් තරගය පහසුවෙන් ජය ගැනීමට හැකියාව තිබූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් සඳහන් කර සිටියි.

තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (03 දා) පැවැති තරගයේදී ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ තියුණු තරගයකින් පසු ලකුණු 02 ක පරාජයකට මුහුණ දුන්නේය. අවසන් පන්දුවාරය වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 13 ක් ලබා ගැනීමට තිබූ නමුත් කඩුල්ලේ රැදී සිටි චාමික කරුණාරත්න ඇතුළු සෙසු පිතිකරුවන්ට රැස් කරගත හැකි වූයේ ලකුණු 10 ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිම ක්‍රියාත්මක වන අතරතුර පළමු කඩුලු 5 ම ලකුණු 65 ක් ඇතුළත බිඳ වැටීම නිසා මැද පෙළ පිතිකරුවන්ට තරගයේ වැඩි බරක් පැටවිණි. මෙහිදී 6 වැනි කඩුල්ලට එක් වුණු දසුන් ශානක සහ වනිදු හසරංග පන්දු 23 කදී ලකුණු 40 ක සම්බන්ධතාවක් පවත්වමින් අවසන් පන්දුව දක්වා තියුණු මුහුණුවරක් ගනු ලැබූ තරගයට ප්‍රධාන අඩිතාලම එක් කළහ. කෙසේ වෙතත් පන්දු 27 කදී ලකුණු 45 ක් ලබා ගත් දසුන් ශානකත්, පන්දු 10 කදී ලකුණු 21 ක් රැස් කළ වනිඳු හසරංගත් ජයග්‍රහණයට ලකුණු 34 ක් තිබියදී දැවී යෑම ශ්‍රී ලංකාවට අතිශය පාඩුවක් ගෙන දෙන්නක් විය. කෙසේ වෙතත් පසු පෙළ පිතිකරුවන් සමඟ එක් වුණ චාමික තරගය ජයග්‍රහණය කරා රැගෙන යෑමට දැඩි උත්සාහයක නිරත වූ නමුත් අවසන් පන්දුවේදී රැස් කරගත යුතු ලකුණු 4 අභියෝගය ජය ගැනීමට ඔහුට නොහැකි විය.

“මං හිතනවා අපි පිතිකරණයෙන් වැරදි කලා කියලා” යැයි තරගාවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී නවාස් සඳහන් කර සිටියේය. “විශේෂයෙන් කිව්වොත් මුල් පෙළ පිතිකරුවන්ගෙන් මීට වඩා සහායක් ලැබෙන්න තිබ්බා කියලා මම විශ්වාස කරනවා. නමුත් පසු පෙළ පිතිකරුවන්ගෙන් හොඳ කම්බැක් එකක් දීලා හොඳ තරගයකට ගෙනාවා. නමුත් අවාසනාවකට අපිට ඒක ඉවර කර ගන්න බැරි වුණා” යැයි නවාස් සදහන් කර සිටියි.

ඉන්දීය කණ්ඩායම අවසන් වතාවට ශ්‍රී ලංකාවට පැමිණ තරග කරන ලද 2021 වසරේ පැවැති තරගාවිය 2-1 ක් ලෙස ජය ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. එනිසා ඉන්දියාව පරාජයට පත් කිරීම අමුතු දෙයක් නොවනු ඇත. එහෙත් තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැඳී සිටීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට හෙට (05 දා) පුණේහි පැවැත්වෙන දෙවැනි තරගය ජය ගැනීම අනිවාර්යය වේ.

“ඊළඟ තරගයෙදී අපි මේ තරගයේ කරපු වැරදි ටික කතා කරගෙන මීට වඩා හොද තරගයක් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඉන්දියාව වගේ කණ්ඩායමක් සමග අපි සෙල්ලම් කරනකොට අපි දන්නවා ඒගොල්ලෝ කොයි වගේද ක්‍රීඩා කරන්නේ කියලා. අපේ උපරම ක්‍රිකට් එක ඉදිරියට ගෙනල්ලා ක්‍රීඩා කළොත් තමයි අපිට රගයක් ජයග්‍රහණය කරන්න පුලුවන්. ඒ අනුව අපි උපරිමය දෙන්න බලාපොරොත්තු වෙනවා” යැයි දෙවැනි තරගයට පෙර ඇති අභීයෝගය පිළිබඳව නවාස් සදහන් කර සිටියේය.

“මේ තණතීරුව ගත්තහම ජයග්‍රාහී ඉලක්කය ලකුණු 180 ක් වගේ වෙනවා. නමුත් අපේ පන්දු යවන්නන් ඉතා හොඳින් පන්දු යැව්වා. ඒ නිසා අපිට ඔවුන්ව ලකුණු 162 කට වගේ අඩු ගාණකට නවතාලීමට හැකියාව ලැබුණා. එය ඇත්තටම හොඳ දක්ෂත්වයක්. මම හිතන විදියට ඒක අපිට පහසුවෙන්ම හඹා යෑමට තිබූ ඉලක්කයක්. එහි වගකීම පිතිකරුවන් ගත යුතුයි” යැයිද සහාය පුහුණුකරුට අමතරව පිතිකරණ පුහුණුකරුවා ලෙසින්ද කටයුතු කරන නවාස් සදහන් කර සිටියේය.

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest