අහන් වික්‍රමසිංහ පන්දු 108කදී හයේ පහරක් හා හතරේ පහර 13ක් සමග රැස්කළ අගනා ශතකයෙන් ශක්තිමත්ව කැන්ඩි පිල සිය පළමු ඉනිමට ලකුණු 265ක් ලබාගත් අතර, ජැෆ්නා පිල පළමු දිනය නිමා වෙද්දී කඩුලු 3ක් දැවී ලකුණු 93ක් ලබා සිටියේය.
අහන් වික්‍රමසිංහ මෙම තරගාවලියේ රැස්කළ දෙවැනි ශතකය මෙය වූ අතර, මෙයට පෙර ඔහු කළම්බු පිලට එරෙහිව ලකුණු 107ක් රැස්කර ගත්තේය. අහන් වික්‍රමසිංහ මෙම ශතක දෙකට අමතරව මෙම තරගාවලියේදී අර්ධ ශතකයක් වාර්තා කළ අතර, ඒ අනුව තරග 3කදී ලකුණු 272ක් ලබා පිතිකරුවන් අතර, පියවර කිහිපයක් ඉදිරියට පැමිණ සිටී.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවැනි වතාවටත් පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ කොළඹ එස්. එස්. සී පිටියේ පැවැති ජැෆ්නා හා කැන්ඩි අතර තරගයේදී කාසියේ වාසිය දිනාගත් ජැෆ්නා පිලේ ආරාධනාව අනුව මුලින් පන්දුවට පහරදුන් කැන්ඩි පිලේ සදුන් වීරක්කොඩි ලකුණු 36ක් හා ඔෂධ ප්‍රනාන්දු ලකුණු 33ක් වාර්තා කළහ.
පන්දු යැවීමේදී වඩාත් සාර්ථක වූ පන්දු යවන්නා බවට පත්වූ ෂශික දිල්ෂාන් කඩුලු 4ක් බිදහෙලාගත් අතර, බිනුර ප්‍රනාන්දු කඩුලු 3ක් හා රවිදු ප්‍රනාන්දු කඩුලු 2ක් බිද හෙලූහ.
ජැෆ්නා පිලේ පළමු කඩුල්ල ලකුණු 15දී දවා ගැනීමට වේග පන්දු යවන ළහිරු කුමාර සමත් වූ අතර, එහිදී රොන් චන්ද්‍රගුප්ත ලකුණු 1කට දැවී ගියේය. ජැෆ්නා ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන ලකුණු 45ක් ලබාගත් අතර, දිනය නිමා වෙද්දී ජනිත් ලියනගේ නොදැවී ලකුණු 41ක් ලබා සිටියේය. සාර්ථක පන්දු යැවීමක නිරත වෙමින් සිටි ළහිරු කුමාර කඩුලු දෙකක් දවා ගත්තේය.
කැන්ඩි – පළමු ඉනිමට ලකුණු 265යි (ඕවර් 66.1) – කසුන් විදුර 13, ඹෂධ ප්‍රනාන්දු 33, සදුන් වීරක්කොඩි 36, නිරෝෂන් දික්වැල්ල 21, අහන් වික්‍රමසිංහ 101, වනුජ සහන් කුමාර 22, අම්ෂි ද සිල්වා 17, අශේන් ඩැනියෙල් 11 ( ෂශික දිල්ෂාන් 70/ 4, බිනුර ප්‍රනාන්දු 34/3, රවිදු ප්‍රනාන්දු 55/2, ළහිරු මධුසංඛ 42/1)
ජැෆ්නා – පළමු ඉනිමට ලකුණු 93යි (ඕවර් 21) – නවෝද් පරණවිතාන 45, ජනිත් ලියනගේ නොදැවී 7 (ළහිරු කුමාර 17/2, අම්ෂි ද සිල්වා 31/1)