slc
logo
Home   |    News
මාර්තු 17, 2023
එස්එස්සී අභිබවා මුවර්ස් අවසන් සටනට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී මුල් ඉනිම ජයගත් මුවර්ස් ක්‍රීඩා සමාජය අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ අද (17) අවසන් වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් එස්එස්සී පිලේ ආරාධනාවෙන් මුලින් පන්දුවට පහරදුන් මුවර්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 239ක් ලබාගත් අතර, අද දිනයේ එස්එස්සී පිල සිය පළමු ඉනිමට සියළු දෙනා දැවී ලකුණු 151කට සීමා විය. මුවර්ස් පිලේ ආරම්භක පන්දු යැවූ ඉම්තියාස් ස්ලාසා එස්එස්සී ඉනිම සුනු විසුනු කරමින් පන්දු යැවූ අතර, ඕවර්  22.1ක් යවා ලකුණු 93කට කඩුලු  6ක් බිද හෙලා මුවර්ස් පිලට වැඩි වාසි ගෙන ආවේය.

ඒ අනුව ලබන 21 හා 22 දිනවල පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් සටනේදී මුවර්ස් ක්‍රීඩා සමාජයට රාගම ක්‍රීඩා සමාජය මුණ ගැසීමට නියමිතය.

මෙම තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී රාගම ක්‍රිකට් සමාජය පළමු ඉනිමට ලබාගත් ලකුණු 311ට පිළිතුරු ලෙස ටැමිල් යූනියන් පිලේ පළමු ඉනිම ලකුණු 240කට සීමා වූ හෙයින් හෙයින් රාගම ක්‍රිකට් පිල පළමු ඉනිමේ ජය ලබා අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

එස්එස්සී – මුවර්ස් තරගයේ පළමු දිනයේ අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පැය කිහිපයක් අපතේ ගිය අතර, එම පළමු දිනය නිමාවෙද්දී ඕවර් 43කට පමණක් මුහුණදී මුවර්ස් ක්‍රීඩා සමාජය කඩුලු 4ක් දැවී ලකුණු 137ක් රැස්කර සිටියේය. අද දිනයේදී මුවර්ස් පිල සිය පළමු ඉනිමට තවත් ලකුණු 102ක් එක්කර සිටියදී තම ඉනිම අත්හිටවීමට තීරණය කළේය.

මුවර්ස් පිලේ ජනිස්ක පෙරේරා පන්දු 118කදී හතරේ පහරක් සමග ලකුණු 72ක් ලැබූ අතර, රසීන් රාම්ලාන් ලකුණු 38ක් හා සසිත මදනායක නොදැවී ලකුණු 34ක් වාර්තා කළේය. කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහලෙන් ක්‍රිකට් පිටියට පිවිසි නිම්නක ජයතිලක ලකුණු 55කට කඩුලු 5ක් හා කළණ පෙරේරා කඩුලු 3ක් බිද හෙලූහ.

එස්එස්සී පිලේ මුල් කඩුලු හතරම ලකුණු 20කදී දවා ගැනීමට මුවර්ස් පන්දු යවන්නෝ සමත්වීම තරගයේ හැරවුම් ලක්ෂය බවට පත්විය. ආරම්භක පිතිකරුවන් වූ සධීෂ රාජපක්ෂ හා අක්රම් මුතාලිබ් ලකුණු 12ක් වෙද්දී දවා ගැනීමට ආරම්භක පන්දු යැවූ ඉම්තියාස් සල්සා සමත් වූ අතර, අංක තුන පිතිකරු තෙනුෂ්ක නානායක්කාර කෙලින්ම පන්දුව කඩුල්ලේ වැදී දවා ගැනීමට ජනිෂ්ක පෙරේරා සමත් වූවේය. අනතුරුව පිටියට පිවිසි රනිදු සෝමරත්න පළමු පන්දුවේදීම දවා ගැනීමට යළි ක්‍රියාත්මක වූ සල්සා සමත් විය.

එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් සිටි නිපුන් ධනංජය සමග එක්වූ චමිදු වික්‍රමසිංහ 5වැනි කඩුල්ලට ලකුණු 31ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර, චමිදු ලකුණු 12කට දැවී ගියේය. නිපුන් ධනංජය පන්දු 65කදී හතරේ පහර 4ක් එල්ලකොට ලකුණු 37ක් ලබා සිටියදී දැවීගිය අතර,  සසිදු මල්ෂාන් හයේ පහරක් හා හතරේ 5ක් සමග පන්දු 62කදී ලකුණු 34ක් ලබාගත් අතර, කළණ පෙරේරා ලකුණු 25ක් හා අක්මාල් ෆස්ලි ලකුණු 19කට දැවී ගියේය.

නැගී එන ක්‍රිකට් තරු කරලියට ගෙන එමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටි කණ්ඩායම් 4 අවසන් පූර්ව තරග වටය සඳහා සුදුසුකම් ලැබූ අතර, එස්එස්සී හා ටැමිල් යූනියන් කණ්ඩායම් අවසන් පූර්ව වටයෙනක් ඉවතට ගියහ.

මුවර්ස් – පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 239යි (ඕවර් 77) – දිනුක දිල්ෂාන් 15, රසීන් රමීන් 38, ජනිස්ක පෙරේරා 72, රසික වීරසූරිය 15, ශාකූර් රස්නි 16, යසිත සමරරත්න 10, සිසිත මදනායක නොදැවී 34, දේශාන් ගමගේ 22 ( කළණ පෙරේරා 63/3, චමිදු වික්‍රමසිංහ 14/1, නිම්නක ජයතිලක 55/5)

එස්එස්සී – පළමු ඉනිමට ලකුණු 151යි (ඕවර් 49.1 ) – නිපුන් ධනංජය 37, චමිදු වික්‍රමසිංහ 12, සසිදු මල්ෂාන් 34, කළණ පෙරේරා 25, අක්මල් ෆස්ලී 19,  (ජනිස්ක පෙරේරා  10/1, ඉම්තියාස් ස්ලාසා 93/6, දිනුක දිලිෂාන් 16/1, තේෂාන් විතූසන් 28/2)

 

 

 

 

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee