slc
logo
Home   |    News
මාර්තු 2, 2023
ගෝල් පිල නොසිතූ අසීරුතාවයක

sinhala editor

By Chamila Karawita

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ශූරයන් වන්නේ කවුරුන්ද යන්න තේරීම වෙනුවෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණු සිව්දින අවසන් මහ තරගයේ පළමු දින වූ අද (02 දා) අයහපත් කාලගුණය මත වේලාසන තරගය නිමා කරන විට සත්කාරක ගෝල් කණ්ඩායම අසීරුවේ ‌දැමීමට දඹුලු පන්දු යවන්නෝ සමත්වී සිටියහ. ඒ ගෝල් පළමු ඉනිමේ කඩුලු 4 ක් ලකුණු 26 ක් ඇතුළතදී දවා ගනිමිනි.

හෂාන් දුමිඳු සහ පසිඳු සූරියබණ්ඩාර කඩුල්ලේ රැඳී සිටින නමුත්, ඔවුන් සතු අසීරුම අභියෝගය වී ඇත්තේ ඉතිරි කඩුලු 6 ඇතුළත දඹුලු කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කරන ලද ලකුණු 248 ක පළමු ඉනිම අභිභවා යෑම වේ. ඒ සදහා ඔවුනට තවත් ලකුණු 222 ක් ලබා ගත යුතුව තිබේ.

හෂාන් දුමිදු ලකුණු 09 ක් ලබා සිටින නමුත් පසිඳු තවමත් ලකුණු ලබා ගැනීම ආරම්භ කර නොමැත. දැවී ගිය පිතිකරුවන් අතරට නායක සංගීත් කුරේ, ලක්ෂාන් එදිරිසිංහ සහ දුනිත් වෙල්ලාලගේ යන ප්‍රබලම පිතිකරුවන් ඇතුළත්ව සිටින අතර ඒ අතර වෙල්ලාලගේ හැර අනෙක් තිදෙනාම මෙවර තරගාවලියේදී ශතක වාර්තා කිරීමට සමත් අතළොස්ස අතට පසුවන පිතිකරුවෝ වෙති.

ගෝල් නායක සංගීත් කු‌රේ කාසියේ වාසිය දිනා ගත්තද පිතිකරුවන්ට පාරාදීසයක් බඳු ගාලු තණතීරුවේ පළමුව පන්දුවට පහර දීම සඳහා දඹුලු කණ්ඩායමට ආරාධනා කර සිටියේය. සාමාන්‍ය ගාලු තණතීරුව යනු කාසියේ වාසිය දිනූ විගස කිසිදු පැකිළීමකින් තොරව පන්දුවට පහර දීම තෝරා ගන්නා ලද නමුත්, ගෝල් නායකයා උඩුගං බලා යෑම තෝරා ගැනීම වි‌ශේෂයක් විය.

දඹුලු කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ලමින් පීඩනයක් එල්ල කිරීම, ගෝල් පිලේ සැලසුම වූ අතර එය අකුරටම ඉටු කළ කවිශ්ක අංජුල ආරම්භක පිතිකරු සොනාල් දිනූෂව වේලාසම දවා ගැනිමට සමත්වූවේය. දෙවැනි කුල්ලට එක් වූ පවන් රත්නායක සහ අභිෂේක් ලියනාර්චචි ලකුණු 77 ක් එක් කළද නැවතත් කවිෂ්ක අංජුල හරස් වෙමින් රත්නායකව පිටියෙන් ඉවත් කළේය.

අනතුරුව කරළියට පිවිසි දුනිත් වෙල්ලාලගේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් මිනෝද් භානුක සමග ලකුණු 78 ක් එක් කළ සනෝජ් දර්ශිකව දවා ගනිමින් එම සම්බන්ධතාව බිඳ දැම්මේය. එතැනින් නොනැවතුණු වෙල්ලාලගේ ඊළඟ පන්දුවේදී අශාන් ප්‍රියන්ජන්ගේ කඩුල්ල දවා ගනිමින් කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමේ ආසන්නයට පැමිණියේය. එහෙත් ඊලඟ පන්දුව සඳහා මුහුණ දුන්, වනිඳු හසරංග කඩුලු ත්‍රිත්වයෙන් බේරීමට සමත්වූවේය.

කඩුලු ත්‍රිත්වයෙන් බේරීම් වනිඳු සමත් වුවත්, කඩුලු දඩයම නවතාලීමට අකමැති වූ වමත් දඟ පන්දු යවන්නා නතර වූයේ වනිඳුගේ කඩුල්ලද ඇතුළත්ව දඹුලු කණ්ඩායමේ කඩුලු 5 ක් දවා ගනිමිනි. තරගය නිමා වන විට දමුලු පිල කරකවා ඇත හැරි වෙල්ලාලගේගේ පන්දු යැවීම සටහන් වූයේ පන්දුවාර 17 කදී නිලකුණු පන්දුවාර 4 ක්ද සමඟින් ලකුණු 58 කට කඩුලු 5 ක් වශයෙනි.

දඹුලු කණ්ඩායම ලකුණු 250 කට වඩා අඩුවෙන් දැවී යෑම සඳහා ඉනිමේ අර්ධ ශතක 2 ක් වාර්තා කිරීමට සමත් පිතිකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු වූ මිනෝද් භානුකව දුවද්දී දවා ගැනීම වෙනුවෙන් ලක්ෂාන් එදිරිසිංහ පෙන්වන ලද දක්ෂ පන්දු රැකීම මුල් වූවේය. පන්දු 84 කට මුහුණ දී සිටි භානුක පිටියෙන් ඉවත් වන විට ලකුණ 50 ක් ලබා සිටියේය. අනෙක් අර්ධ ශතක ලාභියා වූයේ ආරම්භක පිතිකරු අභිෂේක් ලියනාරච්චි වන අතර හේ පන්දු 75 කදී ලකුණු 54 ක් ලබා ගත්තේය.

හෙට තරගයේ දෙවැනි දිනයයි.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee