slc
logo
Home   |    News
මාර්තු 9, 2023
ලැබුණු අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගත් ‘වමත් දඟයා’ – ශෂික දුල්ශාන්

sinhala editor

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයෙකුට උපරිම වශයෙන් සහභාගි විය හැක්කේ අවසන් මහ තරගයද සමග තරග හයකට පමණි.  අවසන් තරගයට තම කණ්ඩායම සුදුසුකම් නොලැබුවහොත් ක්‍රීඩකයෙකු සහභාගි වන්නේ තරග පහකට ය.  මේ තරගාවලියේ මෙවර දක්ෂතම පන්දු යවන්නා ලෙස සම්මානය දිනූ ජැෆ්නා කණ්ඩායමේ ශෂික දුල්ෂාන්ට එම සම්මානය හිමි වූයේ තරග තුනක දී කඩුලු 22ක් දවාලමින් පෙන්වූ දක්ෂතා හේතුවෙනි.

22 හැවිරිදි ශෂික දුල්ෂාන්ට ජැෆ්නා කණ්ඩායමේ ප්‍රථම තරග දෙක අහිමි වූයේ ජ්‍යෙෂ්ඨ පන්දු යවන්නන් කිහිපදෙනෙකුම කණ්ඩායම නියෝජනය කළ හේතුව මතය.  මූලික වටයේ අවසාන තරග දෙකට සහ අවසාන පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට උදා වූ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනගත් මේ තරුණ ක්‍රීඩකයා තරගාවලිය නිම කළේ තරග තුනක දී කඩුලු 22ක් දවාලමිනි.

වමතින් දඟ පන්දු යවන ශෂික මේ තරගාවලියේ දී දැක් වූ දක්ෂතා වූයේ ඔහු සහභාගි වූ ප්‍රථම තරගයේ දී කැන්ඩි සමග ඉනිම දෙකේ දී කඩුලු හතර බැගින් දවාලමින් ද දෙවන තරගයේ දී ගෝල් සමග මුල ඉනිමේ දී කඩුලු හතරක් සහ දෙවන ඉනිමේ දී කඩුල්ලක් ද  අවසාන පූර්ව තරගයේ දී දඹුල්ල සමග මුල් ඉනිමේ දී කඩුලු හයක් සහ දෙවන ඉනිමේ දී කඩුලු තුනක් දවාලීමෙනි.

ජැෆ්නා කණ්ඩායමේ ප්‍රථම සහ දෙවන තරග දෙකට ක්‍රීඩා කළ දිලුම් සුධීර සෙසු තරගවලට සහභාගි නොවූයෙන් ශෂික එම හිස්තැන පිරවූයේ තරග තුනක දී කඩුලු 22ක් ලබා තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නාට හිමි සම්මානය ද හිමිකර ගනිමිනි.

මාතර දී උපත ලද ශෂික දුල්ෂාන් දෙවන වසර තෙක් අධ්‍යාපනය ලැබුවේ ගමේ මිහිඳු ආදර්ශ පාඨශාලාවෙනි.  පසුව මාතර ශාන්ත සර්වේසස් විදුහලට ඇතුලුවීමෙන් පසුව එහි සියලු වයස් සීමා නියෝජනය කර පාසල් දිවිය නිම වීමට පෙර ම ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායමට ඇතුලු වූයේ නිත්‍ය දඟපන්දු යවන්නකු ලෙසටය.

“මගේ තාත්තා පුෂ්පක නලින් බස්රථ රියදුරෙකි.  මව නිරෝෂිනි ප්‍රියදර්ශනි ගෘහනියකි.  දෙමාපියන් දෙදෙනාම මට වාගේම ක්‍රිකට් ක්‍රීඩා‍වටත් හරිම ලැදියි.  අද මා මෙවැනි තත්ත්වයකට පත්ව සිටින්නේ දෙමාපියන්ගේ පූර්ණ ශක්තියෙන් සහ ආශිර්වාදයෙන්” යැයි ශෂික කෘතවේදී ව තම දෙමාපියන් සිහිපත් කරයි.

ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ජාතික තලයට (19න් පහළ) යාමට ඔහුට අත දී ඇති ප්‍රධාන පුහුණුකරු වූයේ රවීන්ද්‍ර පල්ලියගුරුය.  ලසිත් ශාලුක සුවඳරත්න, ජේ. ආරියතිලක, ප්‍රසන්න ගලප්පත්ති සහ ප්‍රියන්ත අබේසේකර ඔහුගේ දක්ෂතා පිටුපස සිටි පාසල් පුහුණුකරුවෝය.

2018 වසරේ ශ්‍රී ලංකා 19න් පහළ ජාතික කණ්ඩායමට එක් වූ ශෂික දුල්ෂාන් එම වසරේ ඉන්දීය සංචාරයේ එක්දින තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස තේරිණි.  එම සංචාරයේ එක්දින තරග පහ ඉන්දියාව 3-2කින් ජය ලැබූවත් ශෂික දුල්ෂාන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ දෙවන සහ සිව්වන තරග දෙකේ දී ලකුණු 27ක ට කඩුලු තුනක් සහ ලකුණු 37ක ට කඩුලු තුනක් දවාලීමට සමත්විණි.  එම වසරේ බංග්ලාදේශයේ පැවැති අවුරුදු 19න් පහළ ආසියා කුසලාන අවුරුදු 19න් පහළ තරගාවලියේ දී තරග පහක දී කඩුලු 11ක් දවාලූ ශෂික අනුශූරතාව දිනූ ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේ දී දක්ෂතා දැක්වීය.

මිහිරි පාසැල් අවධිය සිහිපත් කරන ශෂික දුල්ෂාන් 2017 වසරේ මාතර ශාන්ත තෝමස් විදුහලට එරෙහිව පැවැත්වෙන පාසල් මහා තරගයේ දී මුල් ඉනිමේ දී ලකුණු 51ක ට කඩුලු හතක් සහ දෙවන ඉනිමේ දී ලකුණු 52ක ට කඩුලු හතරක් දවා විදුහලට ගෞරවයක් ගෙන ආවේය.

පාසැල් දිවියෙන් පසු ඔහු ක්‍රීඩා සමාජය ලෙස තෝරාගත්තේ රාගම ක්‍රිකට් සමාජයයි.  මේ වන විට ඔහු එහි අවු. 23න් පහළ සහ ජ්‍යෙෂ්ඨ කණ්ඩායම ද නියෝජනය කරමින් සිටී.  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වසර පුරාම එක දිගට ක්‍රිකට් තරගාවලියන් සංවිධානය කිරීම පිළිබඳව ඔහු දැඩි ප්‍රශංසා මුඛයෙන් අදහස් දක්වයි.

“පුහුණුව ලබනවා වාගේ නොවෙයි.  නිතර තරගවලට සහභාගිවීමෙන් තරගකාරිත්වයක් තුළ වැඩි දස්කම් අතර නිතර සිටින්නට මේ තරගාවලියන් අපට සහයවනවා” යැයි ශෂික පවසයි.  තාමර අබේරත්න වර්තමා රාගම පුහුණුකරුය.

ශෂික දුල්ෂාන් කැමති දේශිය ක්‍රිකට් ක්‍රීඩකයා රංගන හේරත් වන අතර කැමතිම විදේශීය ක්‍රීඩකයා නවසීලන්තයේ හිටපු නායක ඩැනියල් විටෝරිය.  තම ‍අපේක්ෂාව ඉක්මනින්ම ශ්‍රී ලංකා ‘ඒ’ සහ එමර්ජින් කණ්ඩායම්වලට ඇතුලුව දක්ෂතා දක්වා ඉදිරියට යාමට බව ශෂික පවසයි.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee