ක්‍රිකට් ලොව ශ්‍රී ලංකාව දිනා ගන්නා ලද ඉහළම කුසලාන අතර දෙවැනි ලෝක කුසලාන දිනා අදට වසර 9 ක් සපිරෙයි. 2014 වසරේ අප්‍රේල් මස 06 වැනිදා බංග්ලාදේශයේ ඩකා අගනුවර පිහිටි ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේ දී ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන දිනා ගනු ලැබුවේ දහසකුත් ක්‍රීඩා ලෝලීන්ගේ ඔල්වරසන් හඬ මධ්‍යයේය. ඒ විස්සයි-20 කප්පිතන් ලෙසින් සැලකෙන ඉන්දීය කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක ජයග්‍රහණයක් වාර්තා කරමිනි.
රවිචන්ද්‍රන් අශ්වින්ගේ පන්දුවකට තිසර පෙරේරා විසින් එල්ල කරන ලද හතරේ පහරත් සමඟ ලද එම විජයග්‍රහණයේ 9 වැනි වසර සමරන අද (අප්‍රේල් 06) දිනයේදී ඒ සදහා දායකවූවන්ගේ මතකය ආවර්ජනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශය පියවර ගනු ලැබුවේද ශ්‍රී ලාංකේය නාමයට අභිමානයක් ගෙන එන ලද එම ක්‍රිකට් විරුවනට උපහාරයක් ගෙන ඒම වෙනුවෙනි. ලසිත් මාලිංග ප්‍රමුඛ සිංහ කැළ විස්සයි-20 ශූරයන් බවට පත් වද්දී තිරය පිටුපස වූ කාර්යය භාරයද සුළු පටු නොවිණ. එම තිරයෙන් පිටුපස සිදුකරන ලද කාර්යය භාරයේ ප්‍රධානියා වූයේ එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ලද ආචාර්ය ජයන්ත ධර්මදාස මහතාය. වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයා ලෙසද කටයුතු කරන ධර්මදාස මහතා ලෝක කුසලාන දිනා ගතවූ වසර 9 ක කාලයේදී ඒ තුළ වූ මතකය දිග හැර සිටියේ මේ අයුරිනි.
“ඇත්තටම කියනවා නම් හරිම සංතෝෂයි. මොනවා වුණත් මේ ලෝක කුසලානයක් නේ. මේ ජයග්‍රහණය අපි දිනා ගත්තේ කණ්ඩායමක් විදියට ගොඩක් පල්ලෙහාට ගිහිල්ලා හිටපු වෙලාවක. මම සභාපතිවරයා විදියට ඒ වෙලාවේ පුලුවන් තරම්ම මගේ සහයෝගය කණ්ඩායමට ලබා දුන්නා. ඒ වගේම තමයි ක්‍රීඩකයින්. ඔවුනට පුලුවන් උපරිම දේ කරලා දුන්නා” යැයි ධර්මදාස මහතා සිය හඬ අවධි කළේය.
“මම යන්න කළින් අපේ ක්‍රීඩකයින්ට කිව්වේ අවසන් මහ තරගයට ආවොත් අපි මෙච්චර මුදලක් දෙනවා. ෆයිනල් දිනුවොත් අපි මෙහෙම කරනවා කියලා. ඒ වගේම අපේ ළමයි ඒක ලංකාවට දිනවලා දුන්නා”.
“ක්‍රීඩකයින්ට අවශ්‍ය දේවල් සේරම ලබා දීලා අපේ පැත්තෙන් ගන්න පුලුවන් වුණු තීරණ අපි ගත්තා. ඇත්තටම එයාලට කිසිම දෙයක් හිතන්න තිබුණේ නෑ. මම දන්නවා ඒ වෙලාවේ හෙඩ් කෝච් වෙලා හිටිය පෝල් ෆාබ්‍රේස් ඉතා වටිනා වැඩක් කළා අපිට කුසලාන ජයග්‍රහණය කරන්න. අපි ගාව සැලසුම් ගොඩක් තිබුණා. ඒක නිසා අපි මේක අතඇරියෙම නෑ. කොහොම හරි වර් කප් එක දිනනවා කියන හැඟීමෙන් තමයි අපි කටයුතු කළේ” යැයි නිහඬව පරිපාලනයේ නියුතුව තමන් කළ සේවය ගැන ධර්මදාස සඳහන් කර සිටියේය.
“මේ වර්ල්ඩ් කප් එක දින්නට අමතරව අපිට සංතෝෂ වෙන්න දේවල් ගොඩක් තිබුණා. මේ තරගාවලියේදී අපේ ක්‍රීඩකයින් අවස්ථා 5 කදී තරගයේ වීරයා සම්මාන දිනාගත්තා. නවසීලන්ත තරගයේදී රංගන හේරත්, අවසන් මහ තරගයේදී කුමාර් සංගක්කාර, ඇන්ජලෝ මැතිව්ස් තරග 2 කදි ම මෑන් ඔෆ්ද මැච් වුණා. ඒ වගේම කුසල් ජනිත්. මහේල දිගටම ලකුණු අතර හිටියා. නුවන් කුලසේකර සහ ලසිත් මාලිංග ඉතා හොඳින් පන්දු යැව්වා. මේ වගේ හුඟාක් සංතෝෂ විය හැකි දේවල් මේ තරගාවලියේදි සිද්ධ වුණා”.
“මම කළේ මේ කණ්ඩායම එක තැනකට එකතු කරපු එක. ඒකට අනිත් අයත් මට සහයෝගය ලබා දුන්නා. බාධක ගොඩක් මැද්දෙයි මේ තරගාවලියට කණ්ඩායම ගියේ. ඇත්තටම හුාක් ප්‍රශ්න තිබ්බා. ඒ ප්‍රශ්න ඔක්කොම තියාගෙන තමයි අපි මේ ලෝක කුසලාන තරගාවලියට ගියේ. එහෙම තියෙද්දි ඔවර් රේට් එක අඩුවෙන් ගියා කියලා චන්දිමාල්ට නායකත්වය අහිමි වුණා. මාලිංග තමයි කණ්ඩායම මෙහෙයවූවේ. ඔය කරුණු කාරණා නිසා අපිට සැලසුම් සකස් කරන්නත් තිබුණේ බොහෝම සීමිත පැය ගණනක්. මමත් ඒ වෙලාවේ කණ්ඩායම සමඟ හිටියා. ඔය ඔක්කොම ප්‍රශ්න තියෙද්දී ඒ සියල්ල අමතක කරලා කණ්ඩායම එක තැනකට ගේන්න සභාපතිවරයා විදියට මට හැකි වුණා. හැමදෙනාගෙම සහයෝගය ලැබුණු නිසා මටත් තීරණ ගන්න එක ඇත්තටම පහසු වුණා. කණ්ඩායමට අවශ්‍ය මොනවද, ඒ සියල්ලම මම ලබා දුන්නා. ඔවුන් හිතන දේවල් කිසි දෙයක් මුකුත්ම අඩුවක් වෙන්න මම ඉඩ දුන්නේ නෑ. මේ දේවල් දිගටම ක්‍රියාත්මක කරපු නිසා අපිට 2014 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනා ගන්න හැකි වුණා” යැයි ආචාර්යය ජයන්ත ධර්මදාස මහතා තම මතකය දිග හැර සිටියේය.