slc
logo
Home   |    News
ජූනි 4, 2023
දැවැන්ත ජයකින් ශ්‍රී ලංකාව තරගාවලිය එකට එක කරයි

sinhala editor

තරග තුනකින් යුත් එක්දින තරඟාවලිය යටතේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද (04දා ) පැවති දෙවැනි  එක් දින තරගයේදී යළිත් දක්ෂතා අතරට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 132 ක දැවැන්ත තරග ජයග්‍රහණයකින් තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට පත් කර ගත්හ. මෙය ශ්‍රී ලංකා කණ්ඩායමක් එක්දින තරගයකදී ඇෆ්ගනිස්තානු පිල පරාජය කරන ලද දැවැන්තම ලකුණු පරතරය ලෙසින් සටහන් විය. ඒ සමඟම ලබන 07 වැනිදා පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින තරගය දෙපිළටම අවසන් මහ තරගයක මුහුණුවරක් ගනු ඇත.

දුර්වලත්වය කොතැනද යන්න හරියට වටහා ගත් පිතිකරුවෝ පෙර තරගයේ වූ අතපසුවීම මෙම තරගයේදී සිදු නොකිරීමට වග බලා ගත්හ. එහිදී කඩුලු 6 ක් දැවී ලකුණු 323 ක් වශයෙන් ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානයට දැවැන්ත අභියෝගයක් එල්ල කළේ තරගය නැරඹීමට පැමිණි දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන්ද අමන්දානන්දයට පත් කරමිනි.

එය හඹා යෑමේදී ඇෆ්ගනිස්තානු පිල පන්දුවාර 42.1 කදී ලකුන 191 කට සීමා කිරීමට පන්දු යවන්නන් සමත්වීමද තෙවැනි තරගයට සුභ පෙර නිමිත්තක් වනු ඇත. ශ්‍රී   පිතිකරුවන්ගේ සහ පන්දු යවන්නන්ගේ තුන් ඉරියව් දස්කම් මත  ශ්‍රී ලංකාව ලබා ගත් මෙම ජයග්‍රහණය ඇෆ්ගනිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාව ලද පස් වන එක්දින තරග ජයග්‍රහණය ලෙසින් සටහන් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඇෆ්ගනිස්ථානය එක් අවස්ථාවකදී කඩුලු 2 ක් දැවී ලකුණු 146 ක් රැස් කරගෙන සිටියද ඔවුන්ගේ ඉතිරි කඩුළු 8 ලකුණු 45ක් තුළ බිඳ දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

මෙම තරගය සදහා පළමු තරඟයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අතරින් වෙනස්කම් 4 ක් සිදු කරමින් අවතීර්ණව තිබූ අතර  ඒ අනුව සධීර සමරවික්‍රම, වනිදු හසරංග, මහීෂ් තීක්ෂණ හා දුෂ්මන්ත චමීර කණ්ඩායමට ඇතුළත්ව සිටියහ. පළමු තරඟයට ක්‍රීඩා කළ  ඇන්ජෙලෝ මැතිව්ස්, දුෂාන් හේමන්ත, ලහිරු කුමාර (ආබාධයක්) හා මතීෂ පතිරණ වෙනුවට ඔවුහු කණ්ඩායමට පැමිණ සිටියහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම තරඟයේ දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ධනංජය ද සිල්වා ලකුණ 39 කට කඩුලු 3 ක් දවා ගත් අතර වසරකට පමණ පසු  පිටියට පිවිසි දුෂ්මන්ත චමීර කඩුලු  2ක් දවා ගනිමින් ජයග්‍රහණයට හොඳ අඩිතාලමක් ලබා දුන්නේය. ආබාධයක් හේතුවෙන් පළමු තරඟයට ක්‍රීඩා නොකළ වනිදු හසරංග ද සිය සුපුරුදු කඩුළු දඩයම ට අවතීර්ණ වෙමින් ලකුණු 42 කට කඩුලු 3 ක් දවා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිති හරඹයේදී  ආරම්භක කඩුල්ල සදහා දිමුත් කරුණාරත්න හා පැතුම් නිස්සංක පන්දු 92 ලකුණු 82 ක සම්බන්ධතාවයක් ගොඩ නැගු අතර  පැතුම් නිශ්ශංක  ලකුණු 43 කට දැවී යද්දී   දිමුත් සිය 7 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කරමින්  පන්දු  62 කදී ලකුණු 52 ක් රැස් කළේය. ශ්‍රී ලංකා  ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් පන්දු 75 කින් ලකුණු  78 ක් රැස් කළ අතර අලංකාර හයේ පහරක් හා හතරේ පහර 7ක් කුසල් ගේ ඉනිම ට  ඇතුළත් වූයේය. කුසල් අද රැස් කරන ලද්දේ මෙම වසරේදී ලද පළමු අර්ධ ශතකය වේ.

කුසල් මෙන්ඩිස් හා සධීර සමරවික්‍රම අතර  තෙවැනි කඩුල්ලට ලකුණු 88 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණු අතර  සධීර පන්දු 46 කින් ලකුණු 44 ක් ලබා ගත් අතර පළමු තරගයේදී  ලකුණු 91 ක් ලබා ගත්   චරිත් අසලංක ලකුණු 6 කට දැවී ගියේය. මැතිව්ස්ගේ ස්ථානය සදහා ආදේශ කෙරුණු සදීර එක්දින තරයකට ක්‍රීඩා කරන ලද්දේ වසර 3 කට පමණ පසුව වේ. මෑත කාලයේදී ලකුණු අතර සිටින පිතිකරුවකු ලෙසින් හැඳින්වෙන දකුණත් කඩුලු රැකීමේ කාර්යයද කළ හැකි පිතිකරුවා අද දිනයේ රැස් කරන ලද ලකුණු 44 ශ්‍රී ලංකාවට ඉතා වටිනා එකක් විය.

ශ්‍රී ලංකා ඉනිමේ අගභාගයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ නායක දසුන් ශානක පන්දු 13 කින් ලකුණු 23 ක් ද, ධනංජය ද සිල්වා පන්දු 24 කින් නොදැවී ලකුණු 29 ක් ද,   ලබා ගත් අතර  වනිදු හසරංග පන්දු 12 කින් නොදැවී ලකුණු 29 ක් ලබා ගත්තේය. ධනංජය, දසුන් සහ වනිදු යන තිදෙනාම හයේ පහර එක බැගින් වාර්තා කළ අතර වනිඳු ගේ පිත්තෙන් ඊට අමතරව හතරේ පහර 4 ක් ද එල්ල විය.

ශ්‍රී ලංකා කන්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 6 ට ලකුනු 324 යි – (කුසල් මෙන්ඩිස් 78,  දිමුත් කරුණාරත්න 52, ධනංජය ද සිල්වා නොදැවී 29, පැතුම් නිශ්ශංක 43, සධීර සමරවික්‍රම 44, වනිඳු හසරංග නොදැවී 29, දසුන් ශානක 23, චරිත් අසලංක 06, මොහොමඩ් නබී 52/2, ෆරීඩ් අහමඩ් 61/2)

ඇෆ්ගනිස්තානය පන්දුවාර 42.1 කදී සියලු දෙනා දැවී ලකුණු 191 යි – (රාමනුල්ලා ගුර්බාස් 02, ඊබ්‍රහිම් සද්‍රාන් 54, රහමට් ශා 36,හෂ්මතුල්ලා ශහිදි 57, නජිබුල්ලා සද්‍රාන් 02, මොහොමඩ් නබී 02, අස්මතුල්ලා ඔමරසායි 28, නූර් අහමඩ් 03, මුජිබුර් රහීම් 00, ෆරීඩ් අහමඩ් 00, ෆසල්හක් ෆරුකි 00*, ධනංජය ද සිල්වා 39/3, වනිදු හසරංග 42/3, දුෂ්මන්ත චමීර  18/2, දසුන් ශානක 29/1,මහීෂ් තීක්ෂණ 35/1)

Active filters

Recent Posts

  • NSL අවසන් ගැටුම කොළඹ සහ ජැෆ්නා අතර
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ අවසන් මහා තරගයට කොළඹ පිල හා ජැෆ්නා කණ්ඩායම සුදුසුකම් ලබා ගත්හ. අද අවසන්වූ මූලික වටයේ තීරණාත්මක ජැෆ්නා […]
  • ලොවටම දිග හැරෙන කාන්තා ලෝක කුසලාන අසිරිය
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඔක්තෝම්බර් මස 03 වැනිදා ආරම්භ කිරීමට සියල්ල සුදානමින් පවතී. කණ්ඩායම් දහයක් අතර උණුසුම් […]
  • NSL එක්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ සමඟ අවසන් සටනට ජැෆ්නාද? ගෝල්ද?
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ මූලික වටයේ තීරණාත්මක තරග දෙකක් ඔක්තෝම්බර් 02 වැනිදා ආරම්භ වේ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී කොළඹ පිල හා […]
  • එන්එස්එල් එක්දින ක්‍රිකට් තරගාවලියේ
    කොළඹ සමඟ අවසන් සටනට ජැෆ්නාද? ගෝල්ද?
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ හෙට (2) මූලික වටයේ තීරණාත්මක තරග දෙකක් පැවැත්වේ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී කොළඹ පිල හා ගෝල් තරගය […]
  • ශ්‍රී ලංකා බාළිකාවන්ට ලකුණු 59 ක ජයක්
    ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වයස අවුරුදු 19 න් පහළ තුන්කොන් බාළිකා ක්‍රිකට් තරගාවලියේ එක්දින තරග අංශය යටතේ ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම සහභාගිවූ දෙවැනි එක්දින තරගයෙන් නවසීලන්ත බාළිකා පිල හමුවේ ලකුණු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee