slc
logo
Home   |    News
ජූනි 4, 2023
දැවැන්ත ජයකින් ශ්‍රී ලංකාව තරගාවලිය එකට එක කරයි

sinhala editor

තරග තුනකින් යුත් එක්දින තරඟාවලිය යටතේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද (04දා ) පැවති දෙවැනි  එක් දින තරගයේදී යළිත් දක්ෂතා අතරට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 132 ක දැවැන්ත තරග ජයග්‍රහණයකින් තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට පත් කර ගත්හ. මෙය ශ්‍රී ලංකා කණ්ඩායමක් එක්දින තරගයකදී ඇෆ්ගනිස්තානු පිල පරාජය කරන ලද දැවැන්තම ලකුණු පරතරය ලෙසින් සටහන් විය. ඒ සමඟම ලබන 07 වැනිදා පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින තරගය දෙපිළටම අවසන් මහ තරගයක මුහුණුවරක් ගනු ඇත.

දුර්වලත්වය කොතැනද යන්න හරියට වටහා ගත් පිතිකරුවෝ පෙර තරගයේ වූ අතපසුවීම මෙම තරගයේදී සිදු නොකිරීමට වග බලා ගත්හ. එහිදී කඩුලු 6 ක් දැවී ලකුණු 323 ක් වශයෙන් ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානයට දැවැන්ත අභියෝගයක් එල්ල කළේ තරගය නැරඹීමට පැමිණි දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන්ද අමන්දානන්දයට පත් කරමිනි.

එය හඹා යෑමේදී ඇෆ්ගනිස්තානු පිල පන්දුවාර 42.1 කදී ලකුන 191 කට සීමා කිරීමට පන්දු යවන්නන් සමත්වීමද තෙවැනි තරගයට සුභ පෙර නිමිත්තක් වනු ඇත. ශ්‍රී   පිතිකරුවන්ගේ සහ පන්දු යවන්නන්ගේ තුන් ඉරියව් දස්කම් මත  ශ්‍රී ලංකාව ලබා ගත් මෙම ජයග්‍රහණය ඇෆ්ගනිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාව ලද පස් වන එක්දින තරග ජයග්‍රහණය ලෙසින් සටහන් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඇෆ්ගනිස්ථානය එක් අවස්ථාවකදී කඩුලු 2 ක් දැවී ලකුණු 146 ක් රැස් කරගෙන සිටියද ඔවුන්ගේ ඉතිරි කඩුළු 8 ලකුණු 45ක් තුළ බිඳ දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

මෙම තරගය සදහා පළමු තරඟයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අතරින් වෙනස්කම් 4 ක් සිදු කරමින් අවතීර්ණව තිබූ අතර  ඒ අනුව සධීර සමරවික්‍රම, වනිදු හසරංග, මහීෂ් තීක්ෂණ හා දුෂ්මන්ත චමීර කණ්ඩායමට ඇතුළත්ව සිටියහ. පළමු තරඟයට ක්‍රීඩා කළ  ඇන්ජෙලෝ මැතිව්ස්, දුෂාන් හේමන්ත, ලහිරු කුමාර (ආබාධයක්) හා මතීෂ පතිරණ වෙනුවට ඔවුහු කණ්ඩායමට පැමිණ සිටියහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම තරඟයේ දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ධනංජය ද සිල්වා ලකුණ 39 කට කඩුලු 3 ක් දවා ගත් අතර වසරකට පමණ පසු  පිටියට පිවිසි දුෂ්මන්ත චමීර කඩුලු  2ක් දවා ගනිමින් ජයග්‍රහණයට හොඳ අඩිතාලමක් ලබා දුන්නේය. ආබාධයක් හේතුවෙන් පළමු තරඟයට ක්‍රීඩා නොකළ වනිදු හසරංග ද සිය සුපුරුදු කඩුළු දඩයම ට අවතීර්ණ වෙමින් ලකුණු 42 කට කඩුලු 3 ක් දවා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිති හරඹයේදී  ආරම්භක කඩුල්ල සදහා දිමුත් කරුණාරත්න හා පැතුම් නිස්සංක පන්දු 92 ලකුණු 82 ක සම්බන්ධතාවයක් ගොඩ නැගු අතර  පැතුම් නිශ්ශංක  ලකුණු 43 කට දැවී යද්දී   දිමුත් සිය 7 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කරමින්  පන්දු  62 කදී ලකුණු 52 ක් රැස් කළේය. ශ්‍රී ලංකා  ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් පන්දු 75 කින් ලකුණු  78 ක් රැස් කළ අතර අලංකාර හයේ පහරක් හා හතරේ පහර 7ක් කුසල් ගේ ඉනිම ට  ඇතුළත් වූයේය. කුසල් අද රැස් කරන ලද්දේ මෙම වසරේදී ලද පළමු අර්ධ ශතකය වේ.

කුසල් මෙන්ඩිස් හා සධීර සමරවික්‍රම අතර  තෙවැනි කඩුල්ලට ලකුණු 88 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණු අතර  සධීර පන්දු 46 කින් ලකුණු 44 ක් ලබා ගත් අතර පළමු තරගයේදී  ලකුණු 91 ක් ලබා ගත්   චරිත් අසලංක ලකුණු 6 කට දැවී ගියේය. මැතිව්ස්ගේ ස්ථානය සදහා ආදේශ කෙරුණු සදීර එක්දින තරයකට ක්‍රීඩා කරන ලද්දේ වසර 3 කට පමණ පසුව වේ. මෑත කාලයේදී ලකුණු අතර සිටින පිතිකරුවකු ලෙසින් හැඳින්වෙන දකුණත් කඩුලු රැකීමේ කාර්යයද කළ හැකි පිතිකරුවා අද දිනයේ රැස් කරන ලද ලකුණු 44 ශ්‍රී ලංකාවට ඉතා වටිනා එකක් විය.

ශ්‍රී ලංකා ඉනිමේ අගභාගයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ නායක දසුන් ශානක පන්දු 13 කින් ලකුණු 23 ක් ද, ධනංජය ද සිල්වා පන්දු 24 කින් නොදැවී ලකුණු 29 ක් ද,   ලබා ගත් අතර  වනිදු හසරංග පන්දු 12 කින් නොදැවී ලකුණු 29 ක් ලබා ගත්තේය. ධනංජය, දසුන් සහ වනිදු යන තිදෙනාම හයේ පහර එක බැගින් වාර්තා කළ අතර වනිඳු ගේ පිත්තෙන් ඊට අමතරව හතරේ පහර 4 ක් ද එල්ල විය.

ශ්‍රී ලංකා කන්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 6 ට ලකුනු 324 යි – (කුසල් මෙන්ඩිස් 78,  දිමුත් කරුණාරත්න 52, ධනංජය ද සිල්වා නොදැවී 29, පැතුම් නිශ්ශංක 43, සධීර සමරවික්‍රම 44, වනිඳු හසරංග නොදැවී 29, දසුන් ශානක 23, චරිත් අසලංක 06, මොහොමඩ් නබී 52/2, ෆරීඩ් අහමඩ් 61/2)

ඇෆ්ගනිස්තානය පන්දුවාර 42.1 කදී සියලු දෙනා දැවී ලකුණු 191 යි – (රාමනුල්ලා ගුර්බාස් 02, ඊබ්‍රහිම් සද්‍රාන් 54, රහමට් ශා 36,හෂ්මතුල්ලා ශහිදි 57, නජිබුල්ලා සද්‍රාන් 02, මොහොමඩ් නබී 02, අස්මතුල්ලා ඔමරසායි 28, නූර් අහමඩ් 03, මුජිබුර් රහීම් 00, ෆරීඩ් අහමඩ් 00, ෆසල්හක් ෆරුකි 00*, ධනංජය ද සිල්වා 39/3, වනිදු හසරංග 42/3, දුෂ්මන්ත චමීර  18/2, දසුන් ශානක 29/1,මහීෂ් තීක්ෂණ 35/1)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තාවෝ කල් ඇතිවම තරගාවලි ජය ලබති
    බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත අන්තර්ජාතික එක්දින තරගාවලියේ පිට පිට තරග දෙකක් ජයගත් ශ්‍රී ලංකා කාන්තා පිල තරගයක් ඉතිරිව […]
  • 21 න් පහළ අවසන් ගැටුම සෙබස්තියනයිට්ස් සහ මැලේ අතර
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 21 න් පහළ ටියර් ‘බී‘ කොටසේ දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ සටන සඳහා සුදුසුකම් ලබා ගැනීමට මොරටුව සෙබස්තියනයිට්ස් සහ මැලේ […]
  • ආණ්ඩුකාර කුසලාන අවසන් පූර්ව තරග ජුනි 22 වැනිදා  
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ආණ්ඩුකාර කුසලාන පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරග අවස්ථාව උදාකර ගැනීම වෙනුවෙන් වන අවසන් කඩඉම වන අර්ධ අවසන් තරග […]
  • ජයග්‍රහණයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලාන ගමන නිමා කරයි
    ග්‍රොස් අයිලට් නුවර ඩැරන් සාමි ජාතික ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී නෙදර්ලන්ත පිලට එරෙහිව ලකුණු 83 ක විශිෂ්ඨ තරග ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම 2024 පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ගමන […]
  • සී.සී.සී. අපරාජිතව පෙරමුණේ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියේ අද (16) නිමාවූ සීසීසී හා මුවර්ස් ක්‍රීඩා සමාජය අතර බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 74ක ජයක් […]

Pin It on Pinterest

USD United States (US) dollar