slc
logo
Home   |    News
ජූලි 18, 2023
සුපිරි ජයකින් ශ්‍රී ලංකා ‘ඒ’ අවසන් පූර්ව වටයට

sinhala editor

ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ඕමාන කණ්ඩායමට එරෙහිව ලකුණු 217 ක දැවැන්ත තරග ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අවසන් පූර්ව තරග වටයට අද (18 දා) සුදුසුකම් ලබා ගත්තේය.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ  පැවැති මෙම තරගයේ ලද මෙම විශිෂ්ඨ ජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණ සිටියි. ඒ අනුව හෙට රාත්‍රියේ පැවැත්විමට නියමිත ඉන්දීය ‘එ්’ සහ පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම් අතර තරගයේ පරාජිතයින් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව තරගයේදී තරග වැදීමට නියමිතව සිටියි.

අද දිනයේදී දිවා තරගයක් ලෙසින් කොළඹ පී, සරා පිටියේදී පැවැති තවත් තීරණාත්මක තරගයක් වුණු ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය අතර තරගයේ ජය වාර්තා කළ බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාව සමඟින් අවසන් පූර්ව තරග වටයට පිවිසි ‌අනෙක් කණ්ඩායම බවට පත්වූවේය.

කාසියේ වාසිය ප්‍රතීවාදී නායකයා සතු වීම නිසා මන්දගාමී වූ තණතීරුවේ පළමුව පන්දුවට පහර දීම ශ්‍රී ලංකා පිලට භාර කෙරුණි. මන්දගාමී බව දැනගත් නිසාම ආරම්භයේ සිටම දඟ පන්දු යවන්නන් කෙරෙහි විශ්වාසය තැබූ ඕමාන නායකයා වේග පන්දු යවන කෙලීමුල්ලා හැරුනු කොට සෙසු පන්දුවාර 44 ම යැවීම සඳහා දඟ පන්දු යවන්නන් භාවිතා කළේය. කෙසේ වෙතත් අසීරුතාව මැඩ ගමිනින් ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවෝ නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 8 කට ලකුණු 260 ක ඉලක්කයක් ඕමාන  පිල හමුවේ තැබූහ.

එහෙත් එම ඉලක්කය හඹා යෑමේදී පන්දුවාර 17.1 කදී ඕමාන පිල ලකුණු 42 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. මෙහි‌දී ලකුණු 03 කට කඩුලු 3 ක් දවා ලූ චමික කරුණාරත්න වැඩිම කඩුලු ලාභියා බවට පත්වද්දී ප්‍රමෝද් මදුෂාන්, දුනිත් වෙල්ලාලගේ සහ ළහිරු සමරකෝන් කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.

ශ්‍රී ලංකා ‘ඒ’ පිල වෙනුවෙන් පසිඳු සූරියබණ්ඩාර පන්දු 75 කදී ලකුණු 60 ක් ලබා ගත්තේය. ඔහුට අනගි සහායක් ලබා දුන් සහන් ආරච්චිගේ පන්දු 63 කදී ලකුණු 48 ක් ලබා අර්ධ ශතකය පෙනී පෙනී දැවී ගියේය. මොවුන් දෙදෙනා පිටියට එකතු වන විට මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 84 කට කඩුලු 3 ක් ලෙසින් සටහන් විය. සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාව පන්දු 132 කදී ලකුණු 110 ක් ලෙසින් සටහන් විය.  පන්දුවට පහර දීමට අසීරු තණතීරුවේදී ලකුණු අතරට පිවිසි පසිඳු සූරියබණ්ඩාර තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

ඒ හැරුණු විට ආරම්භක පිතිකරුවා වූ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 25 ක්, ලසිත් කෘස්පුල්ලේ ලකුණු 43 ක් රැස් කරමින් ශ්‍රී ලංකාවට පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 55 ක සාර්ථක ආරම්භයක් එක් කළහ. පසු පෙළින් පැමිණි චාමික කරුනාරත්න පන්දු 14 කදී ලකුණු 20 ක්ද නායක දුනිත් වේලලාලගේ ලකුණු 21 ක් ද රැස් කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව පෝෂණය කළහ.

ශ්‍රී ලංකා ‘ඒ’ පන්දුවාර 50 කදී කඩුලු 8 ට ලකුණු 259 යි – (පසිඳු සූරියබණ්ඩාර 60, සහන් ආරච්චිගේ 48, අවිශ්ක ප්‍රනාන්දු 25, ලසිත් කෲස්පුල්ලේ 42, මිනෝද් භානුක 09, ළහිරු සමරකෝන් 01, අෂේන් බණ්ඩාර 11, දුනිත් වෙල්ලාලගේ 21, චාමික කරුණාරත්න 20, දුෂාන් හේමන්ත 05*, අකීබ් ඉල්යාස් 59/4, ජේ ඔඩේරා 44/2, අයාන් ඛාන් 39/2)

ඕමාන ‘ඒ’ පන්දුවාර 17.1 කදී සියලු දෙනා දැවී ලකුණු 42 යි – (කාශ්‍යප් ප්‍රජාපතී 18, සුරාජ් කුමාර් 10, චාමික කරුණාරත්න 03/3, දුනිත් වෙල්ලාලගේ 10/2, ප්‍රමෝද් මදුශාන් 06/2, ළහිරු සමරකෝන් 21/2)

ශ්‍රී ලංකා ක්‍රිකට්හි විධායක කමිටු සාමාජික, ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ සභාපති නලීන් අපෝන්සු මහතා අතින් පසිඳු සූරියබණ්ඩාර තරගයේ වීරයා සම්මානය ලබා ගනිමින්.

 

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest