slc
logo
Home   |    News
ජූලි 16, 2023
මිනෝද් භානුකගේ උත්සාහය අපතේ යයි

sinhala editor

නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද (15) කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානය රැස් කළ 252ක ලකුණු සංඛ්‍යාව හඹායෑමේදී ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමේ අංක තුන පිතිකරු මිනෝද් භානුක සටන්කාමී ලකුණු 119ක් රැස් කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරාගෙන යෑමට අප්‍රතිහත ධෛර්යයක නිරත විය. එහෙත් මුළු ලකුණු 229දී නවවන කඩුල්ල ලෙස භානුක දැවී යෑමෙන් පසුව ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ලකුණු 11ක තියුණු ජයක් අත්විණි.

ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා ඇෆ්ගනිස්තානයට පන්දුවට පහරදීමේ වාරය ලබාදීමෙන් පසුව ඔවුන් පන්දුවාර 50 අවසානයේ කඩුලු නවයකට ලබාගත් ලකුණු 252ට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 38.5කදී සියලු පිතිකරුවන් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 241කි. පන්දු 103කට මුහුණ දී හතරේ 17ක් සහ හයේ පහරක් සමඟ අගනා ලකුණු 119ක් රැස් කළ ලංකා එමර්ජින් කණ්ඩායමේ අංක තුන පිතිකරු මිනෝද් භානුක තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නම් කැරිණි.

ලකුණු 253ක ජයග්‍රාහී ඉලක්කයක් කරායෑමට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට පිටියට පිවිසි අවස්ථාවේ මීට පෙර තරගයේ (බංග්ලාදේශය සමඟ) ශතකයක් ලබා සිටි ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ඇෆ්ගනිස්තාන ආරම්භක වේග පන්දු යවන්නා වන මොහමඩ් ඊබ්‍රහිම් එවූ පළමු පන්දුවටම  කඩුල්ල මුවා කිරීමේ වරදට දැවී ගියේ ලකුණක්වත් නොලබාමය.

මොහමඩ් ඊබ්‍රහිම් සිය දෙවන ඕවරයේ දෙවන පන්දුවට කෙළින්ම කඩුල්ල වෙත යවා ලසිත් කෘස්පුල්ලේ ලකුණු 07කටත් (මුළු ලකුණු 12යි) එම ඕවරයේ සිව්වන පන්දුව පසිඳු සූරියබණ්ඩාර කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමෙන් ලකුණක්වත් ලබා නොදීම දවා ගත්තේ මුළු ලකුණු සංඛ්‍යාව 12ක්ව තිබියදීමය.

අංක තුන පිතිකරු මිනෝද් භානුක මේ අවස්ථාවේ මෙම පීඩනය ඉවත් කිරීමට හතරේ පහර කිහිපයක් එල්ල කර කණ්ඩායම ස්ථාවර කිරීමට උත්සාහ ගත්තත් මොහමඩ් ඊබ්‍රහිම් සිය තෙවන පන්දු වාරයේදී නැවතත් ක්‍රියාත්මක වෙමින් මුළු ලකුණු 31දී සහන් ආරච්චිගේ ලකුණු තුනකට දවාලුවේ බහීර්ෂා උඩපන්දුවක් රැක ගැනීමෙනි.

ලංකා කණ්ඩායම අවදානම් තත්ත්වයෙන් ගොඩ ගැනීමට මිනෝද් භානුක සහ අෂේන් බණ්ඩාර පස්වන කඩුල්ලට ලකුණු 35ක් රැස් කළ අවස්ථාවේ පන්දු 23කදී හතරේ හතරක් සමඟ ලකුණු 19ක් ලබා සිටි අෂේන් බණ්ඩාර කෙටි ලකුණක් ලබා ගැනීමට දුවයද්දී කෙළින්ම කඩුල්ල වෙත පන්දුව එවීමෙන් ඔහු දුවද්දී දැවීමට හසුව දැවී ගියේ මුළු ලකුණු 66දී පස්වන කඩුල්ල ලෙසටය.

හයවන කඩුල්ලට මිනෝද් භානුකට එක් වූ නායක දුනිත් වෙල්ලාලගේ හොඳින් පන්දුවට මුහුණදෙමින් ස්ථාවර වන බවක් පෙන්නුම් කළත් ඔහු පන්දු 18කදී හතරේ තුනක් හයේ පහරක් සමඟ ලකුණු 21ක් ලබා සිටියදී මොහමඩ් සලීම් එවූ පන්දුවකට කඩුලු 6කින් ඉක්රාම් අලි කිල් දක්ෂ උඩ පන්දුවක් රැක ගැනීමෙන් දැවී ගියේ මුළු ලකුණු 97දී හයවන කඩුල්ල ලෙසිනි.

තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න මුළු ලකුණු 102දී රෙහ්මන් අක්බාර්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට ලකුණු දෙකකට හත්වන කඩුල්ල ලෙස දැවීයාමත් සමඟ (පන්දුවාර 17යි) ශ්‍රී ලංකාව පත්ව සිටියේ අසීරුම තත්ත්වයකටය.

එහෙත් මේ වන විට අංක තුන පිතිකරු මිනෝද් භානුක තවත් ස්ථාවර වෙමින් අර්ධ ශතකය ද පසුකරමින් ජයග්‍රහණය වෙනුවෙන් හුදකලා සටනක නියැළි සිටියේය. අටවන කඩුල්ලට භානුකට එක් වූ තුන්ඉරියව් ක්‍රීඩක දුෂාන් හේමන්ත ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ නැංවූයේ ලකුණු 98ක සබඳතාවයක් තබා ගනිමිනි. මේ වන විට ජයග්‍රහණ බලාපොරොත්තු ලංකා ක්‍රීඩාලෝලීන් වෙත දැල්වෙමින් ද පැවැතිණි.

මුළු ලකුණු 200දී දුෂාන් හේමන්ත ඇෆ්ගනිස්තානයේ සරි ෆුඩින් අස්රෆ්ගේ පන්දුවකට සුබාර් උල්ලා අක්බාර් උඩපන්දුවක් රැක ගැනීමෙන් අටවන කඩුල්ල ලෙස දැවීයාමත් සමඟ නැවතත් පීඩනය දෙසට කණ්ඩායම නැඹුරු විය. මිනෝද් භානුක මේ වන විට පන්දු 89කදී හතරේ 14ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 100 වාර්තා කරමින් ජයග්‍රහණය උදෙසාම  සටන් වදිමින් සිටීම කාටත් සතුට ගෙනදුන් කරුණක් විය.

ලංකා නවවන කඩුල්ලට මිනෝද් භානුක සමඟ ළහිරු සමරකෝන් නැවතත් ආක්‍රමණශිලී පිතහරඹයක නිරත වූයේ ප්‍රේක්ෂකයන් අමන්දානන්දනයට පත් කරමිනි. මුළු ලකුණු 229දී (පන්දුවාර 37.5දී) ලකුණු 119ක් ලබා සිටි මිනෝද් භානුක, මොහමඩ් සලිම්ගේ පන්දුවකට සයිර් ෂා උඩපන්දුවක් රැක ගැනීමෙන් දැවී ගියේ නවවන කඩුල්ල ලෙස ලකුණු 119කටය. ඔහු හතරේ 17ක් සහ හයේ පහරක් ද එල්ල කළේය.

අවසාන කඩුල්ලට ළහිරු සමරකෝන් (16) සහ බිනුර ප්‍රනාන්දු (නොදැවී 00) එක් කළ ලකුණු සංඛ්‍යාව 12කි. ළහිරු සමරකෝන් පන්දු 14කදී ලකුණු 16ක් රැස් කළේ දැවැන්ත හයේ පහර දෙකක් ද එල්ල කරමිනි.

ශ්‍රී ලංකාව මේ තරගය ආරම්භයේදී කාසියේ වාසිය දිනා ඇෆ්ගනිස්තානය පන්දුවට පහරදීමට යැවීමෙන් පසු දෙවන පන්දු වාරයේදී සුබරුල්ලා අක්බාර් (01) දැවීයාමෙන් පසුව දෙවන කඩුල්ලට අක්බාරි රියාස් හසන් සහ නුර් අලි සඩ්රන් දෙවන කඩුල්ලට ලකුණු 99ක සබඳතාවයක් තබා ගනිමින් කණ්ඩායම ප්‍රබල තත්ත්වයකට ගෙන ඒමට මුල් වූහ.

ඔවුනගේ වැඩිම ලකුණු ලාභීන් වූ අක්බාරි රියාස් හසන් පන්දු 104කදී හතරේ 11ක් සමඟ ලකුණු 82ක් ද නුර් අලි සඩ්රන් පන්දු 62කදී හතරේ පහක් හයේ පහරක් සමඟ ලකුණු 53ක් ද ඉක්රම් අලි කිල් පන්දු 44කදී නොදැවී ලකුණු 34ක් ද නායක ෂාහි ඩුල්ලා පන්දු 33කදී හතරේ පහරක් සමඟ ලකුණු 23ක් ද රැස් කළහ.

ලංකා පන්දු යවන්නන් අතුරින් කැපී පෙනුණු චාමික කරුණාරත්න ලකුණු 56කට කඩුලු තුනක් ද ළහිරු සමරකෝන් ලකුණු 25කට කඩුලු දෙකක් ද දුෂාන් හේමන්ත ලකුණු 54කට කඩුලු දෙකක් ද දවාලුහ.

ඇෆ්ගනිස්තානය නැඟී එන කණ්ඩායම පන්දුවාර 50කදී කඩුලු 9ට 252 යි (අක්බාරි රියාස් හසන් 82, නුර් අලි සඩ්රන් 53, ඉක්රාම් අලි කිල් නොදැවී 34, ෂාහි ඩුල්ලා 23, ෂාහිඩ් බාහීර් 15, ෂාරා ෆුඩින් අස්රෆ් 19, චාමික කරුණාරත්න 56/3, ළහිරු සමරකෝන් 25/2, දුෂාන් හේමන්ත 54/2)

ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම පන්දුවාර 38.5කදී සියල්ල දැවී 241 – (මිනෝද් භානුක 119, දුෂාන් හේමන්ත 31, දුනිත් වෙල්ලාලගේ 21, අෂේන් බණ්ඩාර 19, ළහිරු සමරකෝන් නොදැවී 16, මොහමඩ් ඊබ්‍රහිම් 52/4, මොහමඩ් සලිම් 47/2, සියා උර් රෙහ්මන් 44/2)

Active filters

Recent Posts

  • පානදුර⁣ට ලකුණු පහක තියුණු ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (18) පැවැති තරග දෙකකදී තියුණු තරගයකින් පසුව පාණදුර කණ්ඩායම ලකුණු පහකින් ප්‍රබල කෝල්ට්ස් කණ්ඩායම […]
  • චිලව් මේරියන්ස් – මුවර්ස් ජය ලබති
     අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවැති තරග අතුරින් චිලව් මේරියන්ස් සහ මුවර්ස් කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගත්හ.  චිලව් මේරියන්ස් කඩුලු හතරකින් බදුරලිය පරාජය කළ අතර […]
  • අවුරු. 23 න් පහළ කාන්තා ක්‍රිකට් දෙවැනි දිනය වැස්සට සේදෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ කාන්තා පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ අද (17 දා) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ තරග 2 ම අයහපත් කාලගුණය […]
  • ක්‍රීඩකයින් 420 ක් LPL වෙන්දේසියට සුදුසුකම් ලබති
    මෙරට පැවැත්වෙන මහා ක්‍රිකට් සැණකෙළිය හේවත් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එළැඹෙන මැයි 21 වැනිදා ප.ව. 12.00 සිට කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රෙය්දී පැවැත්වෙන අතර […]
  • පුහුණු තරගවලට පෙර කුසල්ට කණ්ඩායම සමඟ එකතුවේවි – ඈෂ්ලී ද සිල්වා
    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය වෙත යෑමට වීසා ඇයැදුම් කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස්ගේ වීසා බලපත්‍රය එම තානාපති කාර්යාලය […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee