slc
logo
Home   |    News
අගෝස්තු 7, 2023
බාබර් අසාම්ගේ අගනා ශතකයත් සමඟ කොළඹ දෙවැනි ජය ලබයි

sinhala editor

Chamila Karawita reporting from Pallekele

ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ ශතකයක් වාර්තා කරන ලද සිව්වැනි පිතිකරුවා බවට බාබර් අසාම් ඉතිහාස ගත වූ ගෝල් ටැයිටෑන්ස්ට එරෙහි තරගයේදී කඩුලු 7 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අද (07 දා) සමත්විය. මෙය කලම්බු ස්ට්‍රයිකර්ස් මෙවර තරගාවලියේ ලද දෙවැනි තරග ජය ලෙසින්ද සටහන් විය.

10 වැනි තරගය ලෙසින් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 189 ක ඉලක්කයක් හඹා ගිය කලම්බු පිතිකරුවෝ පන්දුවක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගන්නා ලද්දේ කඩුලු 3 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමිනි.

තම කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නියැළි බාබර් අසාම්, පන්දු 59 කදී ලකුණු 104 ක් ලබා ගත්තේය. ඉනිම ආරම්භයේ සිට අවසන් පන්දුවාරයේ පළමු පන්දුව තෙක් කඩුල්ලේ රැඳී සිටි අසාම් හයේ පහර 5 ක් සහ හතරේ පහර 8 ක් තම ඉනිමට ඇතුළත් කළේය. බාබර් දැවී යන විටත් ඔහු එල්.පී.එල්. තරග ඉතිහාසයේ පිතිකරුවකු වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවටද හිමිකම් කීවේය.

එමෙන්ම මෙම ශතකය බාබර්ගේ 10 වැනි විස්සයි-20 ශතකය ලෙසින් වාර්තා පොත් අතරට එක් විය. ඒ අනුව එය ලොව වැඩිම විස්සයි-20 ශතක ලාභීන් අතර දෙවැනි ස්ථානය දක්වා බාබර්ව ඉදිරියට ගෙන ඒමට සමත්වීම කැපී පෙනෙයි. එම ලැයිස්තුවේ අංක 1 පසුවන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කරන ලද ක්‍රිස් ගේල් වන අතර ඔහු ශතක 22 ක් ලබා ගෙන තිබේ.

මීට පෙර කලම්බු කිංග්ස් හි ලොරී එවන්ස් (108*), කැන්ඩි ෆැල්කන්ස්හි ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් (102*) සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියෝජනය කරද්දී අවිශ්ක ප්‍රනාන්දු (100) මීට පෙර ශතක ලාභීහු විය.

පැතුම් නිස්සංක සමග එක්වුණු බාබර් අසාම් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 75 කදී ලකුණු 111 ක සම්බන්ධතාවක් පැවැත්වූ බාබර් කලම්බු ජයග්‍රහණයට ලකුණු 14 ක් ඉතිරිව තිබියදී දවා ගැනීමට කසුන් රජිත සමත්විය. මෙහිදී පැතුම්ගේ ඉනිම පන්දු 40 කදී ලකුණු 54 ක් ලෙසින් සටහන් වූයේ හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඉනිමේ ඇතුළත් වෙමිනි.

කෙසේ වෙතත් තම ජාතික කණ්ඩායමේ නායකයාගේ ඉනිම අපතේ නොහරින්නට වග බලා ගත් මොහොමඩ් නවාස්, පළමු පන්දු 2 ට ලකුණු 2 කින් පැති මාරු කර ගත් අතර අවසන් පන්දු 2 ට හයේ සහ හතරේ පහර බැගින් කාලෝචිත පහර එල්ල කරමින්, තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ගෝල් ටයිටෑන්ස් පිල වෙනුවෙන් කැපී පෙනෙන පිතිහරඹය දියත් කරන ලද්දේ ටිම් සීෆර්ට් විසිනි. පන්දු 35 කට මුහුණ දුන් සීෆර්ට්ගේ ලකුණු 54 කින් සමන්විත නොබිඳුණු ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත්ව තිබිණ. මෙය මෙවර තරග වාරයේදී සීෆර්ට් රැස් කරන ලද දෙවැනි අර්ධ ශතකය ලෙසින් සටහන් විය.

භානුක රාජපක්ෂ ලකුණු 30 ක් ලබා ගත්තද ඔහුට නිසියාකාරව පන්දුවට  පහර එල්ල කිරීමට අවස්ථාව නොලැබිණ. වේගයෙන් පන්දුවට පහර දෙන පිතිකරුවකු ලෙස ප්‍රචලිත භානුක එම ලකුණු 30 ලබා ගැනීම සඳහා පන්දු 31 ක් වැය කර තිබුණේ ඉනිම හතරේ පහර 2 කින් පමණක් වර්ණවත් කරගනිමිනි.

පිතිකරුවන්ට වඩා යෝග්‍ය ලෙසින් හැසිරිණු පල්ලේකැලේ තණතීරුවේදී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 87 ක් එක් කිරීමට ලසිත් කෲස්පුල්ලේ (36) සහ ෂෙවෝන් ඩැනියල් (49) සමත්විය. පන්දු 41 කට පමණක් මුහුණ දුන් ෂෙවෝන් තම ඉනිම සඳහා හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 කින් වර්ණවත් කරගත්තේය.

අද දිනයේදී සුවිශේෂී ඉනිම ක්‍රීඩා කළ බාබර් අසාම් මෙම ශතකයත් සමග තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගත්තේය. මේ වන විටත් තරග 4 කට ක්‍රීඩා කර ඇති බාබර් ලකුණු 211 ක් ලබා සිටින්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 53.33 ක් සටහන් කරගනිමිනි. මේ හේතුව නිසාම ඔහුට තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වෙනුවෙන් පිරිනැමෙන ‘ග්‍රීන්’ කැප්තොප්පිය පැළඳීමට අවස්ථාව උදාවිය.

තරගයේ වීරයා – බාබර් අසාම්

ලකුණු පුවරුව
ගෝල් ටයිටෑන්ස් ලකුණු පන්දු 4 6
ලසිත් කෲස්පුල්ලේ ප.ලක්ෂාන් සඳකැන් 36 19 4 2
ෂෙවෝන් ඩැනියල් කඩුල්ල මුවා කළා ප.රමේෂ් මෙන්ඩිස් 49 31 5 2
භානුක රාජපක්ෂ ප.නසීම් ෂා 30 31 2 0
ටිම් සීෆර්ට් නොදැවී 54 35 4 3
දසුන් ශානක නොදැවී 6 4 1 0
අතිරේක 13
එකතුව පන්දුවාර 20 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 188
කඩුලු වැටීම / 1-87 (කෲස්පුල්ලේ 7.5), 2-91 (ඩැනියල් 8.6), 3-178 (භානුක 18.4),
පන්දු යැවීම
නසීම් ෂා 4-0-36-1 රමේෂ් මෙන්ඩිස් 4-0-33-1
මොහොමඩ් නවාස් 2-0-21-1 මතීෂ පතිරණ 4-0-41-0
චාමික කරුණාරත්න 2-0-20-0 ලක්ෂාන් සඳකැන් 4-0-29-1
කලම්බු ස්ට්‍රයිකර්ස්
පැතුම් නිස්සංක ඇ.ෂෙවෝන් ඩැනියල් ප.ටබ්‍රේස් ශම්සි 54 40 5 1
බාබර් අසාම් ඇ.ශකීබ් අල් හසන් ප.කසුන් රජිත 104 59 8 5
නුවනිඳු ප්‍රනාන්දු ඇ.දසුන් ශානක ප.ටබ්‍රේස් ශම්සි 8 13 0 0
චාමික කරුණාරත්න නොදැවී 2 3 0 0
මොහොමඩ් නවාස් නොදැවී 14 4 1 1
අතිරේක 7
එකතුව පන්දුවාර 19.5 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 189
කඩුලු වැටීම / 1-111 (නිස්සංක 12.3), 2-166 ( නුවනිඳු 17.4), 3-175 (අසාම් 19.1)
පන්දු යැවීම
කසුන් රජිත 2.5-0-42-1 ශකීබ් අල් හසන් 4-0-30-0
රිචර්ඩ් න්ගරාවා 4-0-40-0 ටබ්‍රේස් ශම්සි 4-0-27-2
දසුන් ශානක 2-0-15-0 අකිල ධනංජය 3-0-35-0

 

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest