slc
logo
Home   |    News
සැප්තැම්බර් 17, 2023
ආසියානු ක්‍රිකට් කිරුළ ඉන්දියාවට

sinhala editor

මොහොමඩ් සිරාජ්ගේ අති විශිෂ්ඨ පන්දු යැවීම නිසා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතා කුසලාන දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තබා තිබූ සියලු බලාපොරොත්තු අද (17 දා) පස්වරුවේදී ගිලිහී ගියේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අදාල අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කළ ඉන්දියානුවෝ 8 වැනි වතාවටත් ආසියානු කුසලාන ඉන්දියාවට රැගෙන ගියහ.

පහසු ඉලක්කයක් වූයෙන් ශුබ්මන් ගිල් සමඟින් ඉනිම ආරම්භ කළේ රෝහිත් ෂර්මා නොව ඉෂාන් කිෂාන්ය. ඒ අනුව ලකුණු 51 ක ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 6.1 කදී ඔවුන් දෙපළ සපුරා ගන්නා ලද්දේ කිෂාන්ගේ නමින් පන්දු 18 කදී ලකුණු 23 ක්ද ගිල්ගේ නමින් පන්දු 19 කදී ලකුණු 27 ක්ද සටහන් ව තිබියදීය. මෙම තරගය දශක 5 කට ආසන්න ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අවසන් මහ තරගයක් නිමාවට පත් වුණු අඩුම කාලය ලෙසින් සටහන් විය. සමස්ථ තරගය සඳහාම වැය වී තිබුණේ පැය දෙකකට අඩු කාලයක් හෙවත් මිනිත්තු 116 ක කාලයකි.

එදා මෙදා තුර මෙරට ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් දැවී ගිය දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් අද දිනයේ දැවී ගිය ලකුණු 50 සටහන් විය. මෙය ආසියානු කුසලාන තරගාවලි ඉතිහාසයේදී කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් සනිටුහන් විය. 2000 වසරේදී බංග්ලාදේශ කණ්ඩායම පාකිස්තානය හමුවේ ලකුණු 87 කට දැවී යෑම මීට පෙර කණ්ඩායමක් දැවී ගොස් තිබූ අවම ලකුණු සංඛ්‍යාව විය. එමෙන්ම ශ්‍රී ලංකාව මීට පෙර එක්දින තරගයකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වූයේ 2012 වසරේදී දකුණු අප්‍රිකානුවන් හමුවේ පාර්ල් නුවරදී දැවී ගිය ලකුණු 43 වේ.

ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් කුසල් පෙරේරාව ජස්ප්‍රිට් බුම්රා පිටියෙන් ඉවත් කිරීමට සමත්වීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩා වැටීම ඇරැඹිණ. අනතුරුව කරළියට පිවිසි වේග පන්දු යවන මොහොමඩ් සිරාජ් ශ්‍රී ලංකා ඉනිමට වේදනාබර පරාජයක් උරුම කර දුන් ප්‍රධානම ක්‍රීඩකයා පත්විය. සිරාජ් විසින් ඉපිලීමත් සමඟම අදහාගත නොහැකි දෝලනයක් සහිත පන්දු හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් නිරුත්තර විය.

කාසියේ වාසිය උරගා බැලීමත් සමඟ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළද අනපේක්ෂිත ලෙස ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් තරගය ප.ව. 3.40 දක්වා ආරම්භය ප්‍රමාද විණ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිම 16 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේදී ලකුණු 50 කට සීමා වන විට එය ලොව කෙටිම ඉනිම අතර පස්වැන්නේ වාර්තාව බවට පත්විය.

කාසියේ වාසිය අහිමි වීමෙන් පසු ඉන්දීය නායක රෝහිත් ෂර්මා පවා සඳහන් කර සිටියේ තණතීරුවේ වියළි ස්වභාවය ගැනීම නිසා පළමුව පන්දුවට පහරදීමට තමන්ද බලාපොරොත්තු වූ බවයි. එහෙත් පෙර සඳහන් කළ පරිදි තරග ආරම්භයට මිනිත්තු 10 කට පමණ පෙර සිට ඇද හැලුණු වර්ෂාව නිසා පිතිකරුවන්ට යෝග්‍ය වූ තණතීරුවේ තත්ත්වය හාත්පසින්ම වෙනස් ස්වරූපයක් ගනු ලැබුවේය.

ඉන් මැනවින් ප්‍රයෝජන ගත් සිරාජ් ශ්‍රී ලංකා පිතිකරුවන්ට සිතා ගැනීමටවත් අවස්ථාවක් ලබා නොදෙමින් පන්දුවාර  7 දී නිලකුණු පන්දුවාරයක්ද සමඟ ලකුණු 21 කට කඩුලු 6 ක් දවා ගත්තේය. ඔහු තම පළමු කඩුලු 5 දවා ගැනීම සඳහා වැය කරන ලද්දේ පන්දු 16 ක් පමණි. මෙය ඉන්දීය එක්දින තරග ඉතිහාසයේ පන්දු යවන්නකු වාර්තා කළ සිව්වැනි හොඳම පන්දු යැවීම ලෙසින්ද සනිටුහන් විය. එමෙන්ම මෙය ලොව වේගයෙන්ම කඩුලු 5 ක් දවා ගත් පන්දු යවන්නාගේ වාර්තාව වූ චමින්ද වාස් තබා තිබූ වාර්තාවද සම කරවන්නක් විය.

ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 10 ඉක්මවාලීමට සමත්වූයේ කුසල් මෙන්ඩිස් (17) සහ දුෂාන් හේමන්ත (13*) පමණි. අසාර්ථකත්වයට පත් පිතිකරුවන් අතරින් සධීර සමරවික්‍රම, චරිත් අසලංක සහ නායක දසුන් ශානක ලකුණු ලබා ගැනිමට පෙරම සිරාජ්ගේ පන්දු හමුවේ දැවී ගියහ.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු පවර් ප්ලේ පන්දුවාර 10 අවසන් වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කියැවුණේ ලකුණු 31 කට කඩුලු 6 ක් ලෙසිනි. එම දැවී ගිය කඩුලු 6 න් 4 ක්ම සිරාජ් විසින් යවන ලද සිව්වැනි පන්දුවාරයේදී දැවී ගිය කඩුලු වීම කැපී පෙනෙයි. පැතුම් නිස්සංක, සධීර සමරවික්‍රම, චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා එකම පන්දුවාරයේ දැවී ගිය පිතිකරුවෝ වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දැවී ගිය කඩුලු 10 ම ඉන්දීය වේග පන්දු යවන්නන් විසින් දවා ගැනීම කැපී පෙනිණි. සිරාජ් ට අමතරව හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 03 කට කඩුලු 2 ක් සහ බුම්රා ලකුණු 23 කට ඒක් කඩුල්ලක් බැගින් දවා ගැනීමට සමත්වූහ.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව 4 6
පැතුම් නිස්සංක ඇ.රවීන්ද්‍ර ජඩේජා ප.මොහොමඩ් සිරාජ් 2 4 0 0
කුසල් පෙරේරා ඇ.ලෝකේෂ් රාහුල් ප.ජස්ප්‍රිට් බුම්රා 0 2 0 0
කුසල් මෙන්ඩිස් ප.මොහොමඩ් සිරාජ් 17 34 3 0
සධීර සමරවික්‍රම කඩුල්ල මුවා කළා ප.මොහොමඩ් සිරාජ් 0 2 0 0
චරිත් අසලංක ඇ.ඉෂාන් කිෂාන් ප.මොහොමඩ් සිරාජ් 0 1 0 0
ධනංජය ද සිල්වා ඇ.ලෝකේෂ් රාහුල් ප.මොහොමඩ් සිරාජ් 4 2 1 0
දසුන් ශානක ප.මොහොමඩ් සිරාජ් 0 4 0 0
දුනිත් වෙල්ලාලගේ ඇ.ලෝකේෂ් රාහුල් ප.හර්දික් පාණ්ඩ්‍යා 8 21 0 0
දුෂාන් හේමන්ත නොදැවී 13 15 1 0
ප්‍රමෝද් මදුෂාන් ඇ.විරාට් කෝලි ප.හර්දික් පාණ්ඩ්‍යා 1 6 0 0
මතීෂ පතිරණ ඇ.ඉෂාන් කිෂාන් ප.හර්දික් පාණ්ඩ්‍යා 0 1 0 0
අතිරේක 5
ඒකතුව පන්දුවාර 15.2 කදී සියලු දෙනා දැවී ලකුණු 50
කඩුලු වැටීම / 1-02 (කුසල් පෙරේරා 0.3), 2-08 (පැතුම් 3.1), 3-08 (සධීර 3.3), 4-08 (චරිත් 3.4), 5-12 (ධනංජය 3.6), 6-12 (දසුන් 5.4), 7-33 (කුසල් මෙන්ඩිස් 11.2), 8-40 (වෙල්ලාලගේ 12.3), 9-50 (ප්‍රමෝද් 15.1)
පන්දු යැවීම
ජස්ප්‍රිට් බුම්රා 5-1-23-1 මොහොමඩ් සිරාජ් 7-1-21-6
හර්දික් පාණ්ඩයා 2.2-0-03-5 කුල්දීප් යාදව් 1-0-01-0
ඉන්දියාව
ඉෂාන් කිෂාන් නොදැවී 23 18 3 0
ශුබ්මන් ගිල් නොදැවී 27 19 6 0
අතිරේක 1
එකතුව පන්දුවාර 6.1 කදී කිසිවකු නොදැවී ලකුණු 51
පන්දු යැවීම
ප්‍රමෝද් මදුෂාන් 2-0-21-0 මතීෂ පතිරණ 2-0-21-0
දුනිත් වෙල්ලාලගේ 2-0-07-0 චරිත් අසලංක 0.1-0-01-0

 

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee