slc
logo
Home   |    News
ජනවාරි 12, 2024
වනිඳුගේ විශිෂ්ට ආගමනය ශ්‍රී ලංකාවට කඩුලු අටකින් ජයගෙන එයි

Sri Lanka Cricket

ආබාධ මත පාදයේ ශල්‍ය කර්මයකට භාජනය වී මාස හයක කාලයකට පසුව නැවත ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක්ව ප්‍රථම තරගයේදීම ලකුණු 19කට කඩුලු හතක් දවාලමින් 26 හැවිරිදි දකුණත් පා දඟපන්දු යවන වනිඳු හසරංග ද සිල්වා පෙන් වූ විශිෂ්ට දක්ෂතා මුල් කර ගනිමින් ශ්‍රී ලංකාව තෙවන එක්දින තරගයෙන් සිම්බාබ්වේ පරදා කඩුලු අටක පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේය.

මේ ජයග්‍රහණයත් සමඟම ශ්‍රී ලංකාවට මේ එක්දින තරගාවලියෙන් තරග 2 – 0ක ජයක් ද අත්විය.

තෙවන එක්දින තරගයේ සිම්බාබ්වේ කණ්ඩායම මුලින් පන්දුවට පහරදෙද්දී පන්දුවාර අටක් අවසානයේ කිසිවකු නොදැවී ලකුණු 40ක් ලබා ප්‍රබල තත්ත්වයක සිටියදී පන්දු යැවීමට පැමිණි වනිඳු හසරංග තරගයේ ස්වරූපය කණපිට පෙරළමින් පන්දුවාර 22.5ක් වන විට සිම්බාබ්වේ ඉනිම ලකුණු 96කදී නිමාවට පත් කළේ පුද්ගලිකව පන්දුවාර 5.5ක් යවා ලකුණු 19කට කඩුලු හතක් බිඳ දමමිනි.

මෙය වනිඳුගේ හොඳම පන්දු යැවීම වූ අතර මීට කලින් දක්ෂතම පන්දු යැවීම වූයේ ලකුණු 24කට කඩුලු හයක් දවාලීමය. මීට කලින් එක්දින තරග තුනකදී කඩුලු පහ බැගින් දවා සිටි වනිඳු මෙවර එය ඉටු කළේ සිව්වන වතාවටය.

මේ විශිෂ්ට පන්දු යැවීම මත වනිඳු හසරංග තරගයේ වීරයා ලෙස නම් කැරිණි.

වර්ෂාව මත දෙවරක්ම දිගු වේලාවක් නතර කිරීමට සිදු වූ මේ තරගයේදී අවසානයේ පන්දුවාර සංඛ්‍යාව කණ්ඩායමකට 27 බැගින් අඩු කැරිණි. සිම්බාබ්වේ පන්දුවාර 22.5කදී සියල්ල දැවී රැස් කළ ලකුණු 96ට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකාව කඩුලු 2කට ලකුණු 97ක් රැස් කළේ පන්දුවාර 16.4කදී තවත් පන්දුවාර 10.2ක් (පන්දු 62ක් ද) ඉතිරිව තිබියදීය.

ශ්‍රී ලංකාව ලකුණු 97ක ජයග්‍රාහී ඉලක්කයක් කරායාමට පැමිණි අවස්ථාවේ නැවත වතාවක් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ප්‍රථම පන්දුවාරයේ පස්වන පන්දුවට ලකුණු නොලබාම (මුළු ලකුණු එකේදී) දැවී ගියේය. දෙවන කඩුල්ල අනෙක් ආරම්භක පිතිකරු වන සිය මංගල එක්දින තරගයට එක් වූ 19 හැවිරිදි ෂෙවෝන් ඩැනියල්ට එක් වූ නායක කුසල් මෙන්ඩිස් දෙවන කඩුල්ලට ලකුණු 73ක් එක් කළේ පන්දු 72ක් (ඕවර 12ක්) තුළදීය.

මුළු ලකුණු 74දී ෂෙවෝන් ඩැනියල් ලකුණු 12කට (පන්දු 28යි හතරේ පහරයි) දැවී ගිය පසු කුසල් මෙන්ඩිස් (නොදැවී 66යි) සහ සධීර සමරවික්‍රම (නොදැවී 14) පහසුවෙන් තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

කුසල් මෙන්ඩිස් සිය 27 වන අර්ධ ශතකය මෙදින වාර්තා කිරීමට සමත් විය. මෙන්ඩිස් ලකුණු 66ක් නොදැවී ලබා සිටියේ පන්දු 51කට මුහුණදී හතරේ නවයක් සහ හයේ පහරක් සමඟිනි. සධීර පන්දු 17කදී නොදැවී ලකුණු 14ක් ලබා සිටියේ හතරේ පහරක් ද සමඟය.

තරගාවලියේ වීරයා ලෙස නම් කෙරුණේ ජනිත් ලියනගේ ය.

මේ තරගයේදී ද කාසියේ වාසිය හිමිකර ගත් සිම්බාබ්වේ කණ්ඩායම තීරණය කළේ මුලින් පන්දුවට පහරදිමටය. ආරම්භක පිතිකරුවන් දෙදෙනා ජොයිලොඩ් ගුම්බි (29) සහ ටකුඩ්ස්වනාෂි කයිටානෝ (17) ඉනිම ආරම්භ කළේ ශ්‍රී ලංකා ආරම්භක පන්දු යවන්නන්ට පහසුවෙන් මුහුණ දෙමින් පිටිය පුරා පහර එල්ල කරමිනි.

දෙවන එක්දින තරගයට සහභාගි වූ ලංකා කණ්ඩායමේ දසුන් ශානක සහ ජෙෆ්රි වැන්ඩසේ වෙනුවට මේ තරගයට වනිඳු හසරංග සහ ෂෙවෝන් ඩැනියල් නම් කර තිබිණි. මේ තරගය 20 හැවිරිදි ෂෙවෝන් ඩැනියල්ගේ මංගල එක්දින තරගයයි.

සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 7.4ක් වන විට කිසිවකු නොදැවී ලකුණු 40ක් ලබා සිටියදී සවස 3.04ට වර්ෂාව පතිත වුයෙන් ක්‍රීඩාංගණයම ආවරණය කරමින් තරගය නතර කිරීමට සිදු විණි. මේ වන විට ගුම්බි නොදැවී ලකුණු 26ක් ද කයිටානෝ නොදැවී ලකුණු 16ක් ද රැස් කරමින් පසු වුයේ විශාල ලකුණු සංඛ්‍යාවක් කරායන සෙයක් පිළිබිඹු කරමිනි.

වර්ෂාව මත 3.04ට නතර කැරුණු තරගය නැවත සවස 5.15ට ආරම්භ වුයේ පැය දෙකයි මිනිත්තු 11කට (මිනිත්තු 131යි) පසුව කණ්ඩායමකට පන්දුවාර 42ක් ලැබෙන පරිදිය. මෙපමණ වේලාවකින් හෝ තරගය නැවත ආරම්භ කිරීමට අවස්ථාව උදා වුයේ ජලය ඉවත් කිරීමට ක්‍රීඩාංගණය සකසන සේවකයන් ගත් අප්‍රහත කාර්යයන් මතය.

තරගය සවස 5.15ට නැවත ආරම්භ කිරීමෙන් පසුව තරගය නතර කරන විට පන්දු දෙකක් ඉතිරිව තිබු දුෂ්මන්ත චමීර එම පන්දුවාරයේ ඉතිරි පන්දු දෙක ද යැවීය. ඉන් පසුව නායක කුසල් මෙන්ඩිස් විසින් පන්දු යැවීමට කැඳවුයේ කලකට පසුව නැවත (ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට පසුව) ලංකා කණ්ඩායමට එක් වූ වනිඳු හසරංග ද සිල්වාය.

වනිඳුගේ ප්‍රථම පන්දුවාරයේ (තරගයේ නවවන ඕවරය) අවසාන පන්දුවට ටකුඩ්ස්වනාෂි කයිටානෝ දුන් උඩ පන්දුව ළහිරු මධුශංඛ විසින් රැක ගැනීමෙන් කයිටානෝ  ලකුණු 17කට දැවී ගියේ පන්දු 24කට මුහුණදී හතරේ පහර සමඟය.

වනිඳු හසරංගගේ දෙවන පන්දුවාරයේ (තරගයේ එකොළොස්වන පන්දුවාරය) තෙවන පන්දුවට අනෙක් ආරම්භක පිතිකරු ජොයිලොඩ් ගුම්බි කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ලකුණු 29කට දැවී ගියේ මුළු ලකුණු 46දී දෙවන කඩුල්ල ලෙසිනි. ගුම්බි පන්දු 34කට මුහුණදී හතරේ පහර හතරක් ද එල්ල කළේය.

වනිඳු හසරංගගේ එම පන්දුවාරයේම අවසාන පන්දුවට අංක තුන පිතිකරු නායක ක්‍රෙග් අර්වින් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේ ලකුණක්වත් නොලබා මුළු ලකුණු 47දී සිම්බාබ්වේ තෙවන කඩුල්ල ලෙසය. දෙවන එක්දින තරගයේ අර්ධ ශතකයක් රැස් කරමින් ශ්‍රී ලංකාවට තර්ජනයක් වූ සිම්බාබ්වේ නායකයාව ලකුණු නොලබාම ක්‍රීඩාංගණයට ආපසු හරවා යැවීමට හසරංග ගත් පියවර ශ්‍රී ලංකා කණ්ඩායම ලත් ජයග්‍රහණයකි.

වනිඳු හසරංග මේ වන විට ඔහු යැවු අවසාන පන්දු හතක් තුළ කඩුලු තුනක් දවා ඔහු යැවු පන්දුවාර දෙක තුළදී ලකුණු පහකට කඩුලු තුනක් දවාලමින් ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරතව සිටියේය. සවස 5.34ට නැවතත් තරගය නතර කිරීමට සිදු වුයේ නැවත වතාවක් ක්‍රීඩාංගණයට වර්ෂාව ඇද හැළීමෙනි.

දෙවනවරට 5.34ට නතර කළ තරගය නැවත වර්ෂාවෙන් පසු තෙවන වරට ආරම්භ වූයේ රාත්‍රී 8ට පන්දුවාර සංඛ්‍යාව නැවත අඩුකර කණ්ඩායමකට පන්දුවාර 27ක් ලැබෙන පරිදිය.

වනිඳු හසරංග නැවතත් ක්‍රියාත්මකවෙමින් සිය තෙවන පන්දුවාරයේ (තරගයේ 13වන ඕවරය) තුන්වන පන්දුව මිල්ටන් ෂුම්බා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ලකුණු දෙකකට දවාලුවේ මුළු ලකුණු 48දී සිව්වන කඩුල්ල වශයෙනි.

දෙවන එක්දින තරගයේ ලකුණු 95ක් ලබා තරගයේ වීරයා වූ ජනිත් ලියනගේ මෙදින පන්දු යැවීමේදී ද දස්කම් දක්වමින් සිම්බාබ්වේ පස්වන කඩුල්ල දවාලුවේ මුළු ලකුණු 67දී රයන් බර්ල්ගේ කඩුල්ල වෙත කෙළින්ම පන්දුව යවා ඔහු ලකුණු නවයකට දවාලමිනි.

එම මුළු ලකුණු සංඛ්‍යාවේදීම (67) සිම්බාබ්වේ හයවන කඩුල්ල ද දැවී ගියේ මහීෂ් තීක්ෂණගේ පන්දුවකට සිකන්දර් රාසා (10) ඉදිරියට යාමේදී කඩුලු රකින කුසල් මෙන්ඩිස් විසින් ස්ටම්ප් කිරීමෙනි.

වනිඳු හසරංග පන්දු යවන්නෙකුට ඉතා වැදගත් සන්ධිස්ථානයක් වන සිය පස්වන කඩුල්ල දවාලීම සිදු කළේ ක්ලයිව් මැඩන්ඩේ ගේ කඩුල්ල වෙත කෙළින්ම පන්දු යවා මුළු ලකුණු 67දී සිම්බාබ්වේ හත්වන කඩුල්ල දවාලුවේ තම පස්වන පෞද්ගලික කඩුල්ල ද දවාලමිනි.

වේගපන්දු යවන ළහිරු මධුශංඛ මේ තරගයේ තම ප්‍රථම කඩුල්ල දවාලුවේ මුළු ලකුණු 91දී ලුයික් ජොන්ගෙ වෙත එවු පන්දුවකට ඔහු කඩුලු රකින මෙන්ඩිස්ට උඩ පන්දුවක්දි ලකුණු 14කට දවාලීමෙනි.

වනිඳු හසරංග සිය හයවන පන්දුවාරයේ (තරගයේ 23වන පන්දුවාරය) සිව්වන පන්දුවට අංක 9 පිතිකරු වෙලිංටන් මසකඩ්සා ලකුණු 11කටත් එම පන්දුවාරයේ පස්වන පන්දුවට බ්ලෙසින් මුසරබානි (00) පිට පිටම පන්දු දෙකකදී දවාලමින් ලකුණු 96කට සිම්බාබ්වේ ඉනිම නිමාවට පත් කළේ තමාගේ පුද්ගලික හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 19කට කඩුලු හතක් ද දවාලමිනි.

වෙලිංටන් චමීරට උඩපන්දුවක් දීමෙන් සහ මිසරබානි කඩුල්ල මුවා කිරීමත් හසුව දැවී ගියහ.

ලකුණු පුවරුව

සිම්බාබ්වේ පන්දුවාර 22.5කදී සියල්ල දැවී 96

(ජොයිලොඩ් ගුම්බි 29, ටකුඩ්ස්වනාෂි කයිටානෝ 17, ලුයික් ජොන්ගෙ 14, වෙලිංටන් මසකඩ්සා 11, සිකන්දර් රාසා 10, වනිඳු හසරංග ලකුණු 19ට කඩුලු 7යි මහීෂ් තීක්ෂණ 15ට 1යි ජනිත් ලියනගේ 17ට 1යි දිල්ෂාන් මධුශංඛ 31ට 1යි)

ශ්‍රී ලංකාව පන්දුවාර 16.4කදී කඩුලු 2ට 97යි

(කුසල් මෙන්ඩිස් නොදැවී 66, සධීර සමරවික්‍රම නොදැවී 14, ෂෙවොන් ඩැනියල් 12, රිචඩ් එන්ගාරා 20/1යි)

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • බංග්ලාදේශ කාන්තා ‘ඒ‘ පිලට පහසු ජයක්
    ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායමට එරෙහිව කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (12 දා) පැවැති විස්සයි-20 තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ ඒ ක්‍රීඩිකාවෝ සමත්වූහ. ජයග්‍රහණය සඳහා ලකුණු […]
  • කොළඹ – ජැෆ්නා ජය ලබද්දී ෂමාස්ගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ අද පැවැති තරග දෙකකදි කොළඹ පිල ලකුණු 127කින් හා ජැෆ්නා පිල ලකුණු 70කින් ජය තහවුරු කර ගත්හ. […]
  • තුන්කොන් තරගාවලියට යන බාළිකා පිලේ නායිකාව මනුදි
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා තුන්කොන් ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියාවට යෑම නියමිත ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායමේ නායිකාව ලෙස මොරටුව වේල්සු කුමරි විදුහලේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට දකුණු අප්‍රිකාවේදී ඓතිහාසික ජයක්
    වේග පන්දු යවන අසිත විජේසුන්දරගේ අති විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව කිම්බර්ලිහි පැවැති පළමු නිල නොවන සිව්දින කිකට් තරගයෙන් කඩුලු @ ක ජයක් වාර්තා කිරීමට […]
  • පැතුම්ගේ පිතිහරඹය විශිෂ්ඨයි – සනත් ජයසූරිය
    ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පන්දුවට පහර දුන් ආකාරය තමා ඉහළින්ම අගය කරන බවත් ඔහු පහරවල් එල්ල කරන විලාශය නැරැඹීම ද මහත් සතුටක් ගෙන දෙන්නක් බවත් ශ්‍රී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee