slc
logo
Home   |    News
අප්‍රේල් 30, 2024
ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු අටකින් ජයගත් ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම එක්දින තරග පහකින් සමන්විත මේ තරගාවලියේ මේ වන විට 2 – 0කින් ඉදිරියෙන් පසු වේ.

 ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම මේ තරගයෙන් ජය ගත්තේ තවත් පන්දු 88ක් ඉතිරිව තිබියදීය.

 මේ එක්දින තරගයේ වරක් උදෑසන තරගය නතර කරන විට මුලින් පන්දුවට පහරදෙමින් සිටි ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම කඩුලු 6කට ලකුණු 62ක් පමණක් ලබා සිටියේය. වර්ෂාවෙන් පසුව තරගය නැවත ඇරැඹුණේ ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කණ්ඩායමට ඕවර 30ක් ලැබෙන පරිදිය.

 ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම ඕවර 27.2කදී සියලු ක්‍රීඩකයන් ලකුණු 121කට දැවී යාමෙන් පසු පිටියට පිවිසි ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම වේගවත් පිතිහරඹයක නියැළෙමින් ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ජය ගත්තේ ඕවර 15.2කදී කඩුලු දෙකකට ලකුණු 104ක් රැස් කර ගනිමිනි. (ඩක්වර්ත් ක්‍රමයට ශ්‍රී ලංකා ජයග්‍රහණයට අවශ්‍ය වූයේ ලකුණු 102කි.) 

 ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු රැස් කිරීමේ වේගය ඕවරයකට 6.78ක් වූ අතර ඇෆ්ගනිස්තාන කණ්ඩායම මුලින් පන්දුවට පහරදෙද්දී රැස් කළේ ඕවරයකට සාමාන්‍ය ලකුණු 4.43කි.

කාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම තීරණය කළේ මුලින් පන්දුවට පහරදීමටය.

 ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නන් දෙදෙනා වන මොහමඩ් ශිරාෂ් සහ චාමික ගුණසේකරගේ ප්‍රබල පන්දු යැවීම හමුවේ පසුබෑ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරුවන් හයදෙනකුම දැවී ගියේ මුළු ලකුණු 30ක් පමණක් රැස් කර සිටියදීය. ඒ වන විට ගතව තිබුණේ ඕවර 10.4ක් පමණකි.

 ප්‍රබලම පන්දු යැවීම සිදු කළ මොහමඩ් ශිරාෂ් ඕවර හතක් යවා ඉන් ඕවර දෙකකට ලකුණක්වත් ලබානොදී ලකුණු 17කට කඩුලු දෙකක් දවාලීමට සමත් විය.

 ඇෆ්ගනිස්තාන ‘ඒ‘ හත්වන කඩුල්ලට කයිස් අහමඩ් සහ ෆාමනුල්ලා ලකුණු රැස් කරමින් සිටියදී මුළු ලකුණු 62ක් වන විට (කඩුලු හයකට) අයහපත් කාලගුණයේ (වර්ෂාව) බලපෑම මත තරගය නතර කැරිණි. වර්ෂාවෙන් පසු නැවත තරගය ආරම්භ වූයේ කණ්ඩායමකට ඕවර 30ක් පන්දුවට පහරදීමට ලැබෙන පරිදිය.

 ඇෆ්ගනිස්තාන ‘ඒ‘ හත්වන කඩුල්ලට ෆාමනුල්ලා සහ කයිස් අහමඩ් ඕවර 14.1ක් (පන්දු 85ක්) තුළ ලකුණු 75ක් රැස් කළ අතර එය එම කණ්ඩායමේ හොඳම සබඳතාවයයි.

 අංක අට පිතිකරු කයිස් අහමඩ් පන්දු 49කට මුහුණ දී හතරේ පහරක් සහ හයේ පහර තුනක් සමඟ ලකුණු 46ක් ද අංක හත පිතිකරු ෆාමනුල්ලා පන්දු 49කදී හතරේ තුනක් සහ හයේ පහරක් සමඟ ලකුණු 37ක් ද රැස් කළහ. මෙය එම කණ්ඩායමේ ලකුණු දහය ඉක්ම වූ පිතිකරුවන් දෙදෙනා අතරින් වැඩිම ලකුණු ලැබු පිතිකරුවන් දෙදෙනාය.

 ශ්‍රී ලංකා ‘ඒ‘ පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ ප්‍රථම විකට්ටුවට නිශාන් මධුෂ්ක සහ ළහිරු උදාර ඕවර 2.1කදී ලකුණු 20ක් රැස් කළහ. නිශාන් මධුෂ්ක පන්දු 10කදී හතරේ තුනක් සමඟ ලකුණු 14ක් ලබා සිටියදී දැවී ගියේ මුළු ලකුණු 20දී ප්‍රථම කඩුල්ල ලෙසටය. 

 දෙවන කඩුල්ලට ළහිරු උදාර සහ කමිල් මිෂාර ලකුණු 50ක සබඳතාවයක් තබා ගත්තේ පන්දු 51ක මුහුණ දෙමිනි. මුළු ලකුණු 70දී ආරම්භක පිතිකරු ළහිරු උදාර ලකුණු 20කට දැවී ගියේ කයිස් අහමඩ්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙනි. ළහිරු උදාර පන්දු 28කට මුහුණ දී හයේ පහර දෙකක් සමඟ ලකුණු 20ක් ලැබීය.

 ශ්‍රී ලංකා ‘ඒ ‘ පිතිකරුවන් ජයග්‍රාහී ඉලක්කය පසු කරන විට කමිල් මිෂාර නොදැවී ලකුණු 45ක් ද (පන්දු 45යි හතරේ හයයි) නුවනිඳු ප්‍රනාන්දු නොදැවී ලකුණු 17ක් ද (පන්දු නවයයි හතරේ පහරයි හයේ පහරයි) ලබා සිටි අතර ඔවුන් දෙදෙනාගේ තෙවන කඩුල්ලේ නොදැවුණු සබඳතාව පන්දු 23කදී (ඕවර 3.5) ලකුණු 34කි.

 ලකුණු පුවරුව

 ඇෆ්ගනිස්තාන ‘ ඒ ‘ කණ්ඩායම ඕවර 27.2කදී සියල්ල දැවී ලකුණු 121යි – (කයිස් අහමඩ් 46, ෆාමනුල්ලා 37, ෂායිඩුල්ලා 16, මොහමඩ් ශිරාෂ් 17/2, සහන් ආරච්චිගේ 23/2, චාමික ගුණසේකර 28/2යි)

 ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම ඕවර 15.2කදී කඩුලු 2ට 104යි – (ඩක්වර්ත් ක්‍රමයට ජය හිමි වේ). (කමිල් මිෂාර නොදැවී 45, ළහිරු උදාර 20, නුවනිඳු ප්‍රනාන්දු 17, නිශාන් මධුෂ්ක 14, කයිස් අහමඩ් 22/1යි)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee