slc
logo
Home   |    News
මැයි 14, 2024
කළින්ම ලෝක කුසලානයට යන්න ලැබීම ගැන ‘වනිඳු‘ සහ ‘මැතිව්ස්‘ සතුටින්

sinhala editor

එළැඹෙන ජුනි මසදී ඇමරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වීමට නියමසිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායද අද (14 දා) පෙරවරුවේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ඇමරිකාව බලා පිටත්ව ගියේය. ලෝක කුසලාන තරගාවලි ආරම්භයට සති 2 කට වඩා කාලයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලිය සඳහා පිටත්ව යෑම විශේෂත්වයක් වී තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වා සිටින වනිඳු හසරංග මෙන්ම කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් පවසා සඳහන් කර සිටියේ එය ඇමරිකාවේ දේශගුණික සහ තණතීරුවල තත්ත්වයන්ට හුරුවීම සඳහා තම කණ්ඩායමට හොඳ අවස්ථාවක් ලැබී තිබෙන බවයි.

“අපි කළින්ම ඇමරිකාවට යන්නේ ඒ තණතීරුවලට ඇජස් වෙන්න බලාපොරොත්තුවෙන්. ඒක නිසයි අපි දවස් 10 කට කළින් යන්න තීරණය කළේ. ගිහිල්ලා බලනවා තණතීරු වගේම එහේ ගිය වසරේ පැවැත්වුණු ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රතිඵල අරන් බලනවා තණතීරු මොන වගේද කියලා. එතැනදි අපිට මෙහි තණතීරුව හැසිරීම ගැන කිසියම් අවබෝධයක් ලබාගන්න පුලුවන් යැයි වනිඳු හසරංග සඳහන් කර සිටියේය.

තරගාවලිය පිටත්ව යෑමට පෙර ඊට පෙර දිනයේ හෙවත් මැයි 13 වැනිදා පස්වරුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ පැවැති ආගමික වතාවත්වලට සහභාගිවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා විස්සයි-20 නායකයා උක්ත අදහස් පළ කර සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම මීට වසර 14 කට ඉහතදී නවසීලන්ත කණ්ඩායම සමඟ ඇමරිකානු එක්සත් ජනපදයේදී පන්දුවාර විස්සයි-20 තරග 2 කට සහභාගිවී ඇති නමුත් එම තරගාවලියට ක්‍රීඩා කරන ලද කණ්ඩායමේ සාමාජිකයින් අතරින් වර්තමාන කණ්ඩායමට ඇතුළත්ව සිටින එකම ක්‍රීඩකයා වන්නේ ඇන්ජලෝ මැතිව්ස් වේ.

“මං හිතන්නේ අපි අන්තිමට 2010 තමයි ඇමරිකාවේදි ක්‍රීඩා කළේ. ඒ තරගාවලියේදී තණතීරුම මන්දගාමී ස්වභාවයක් තිබුණා. නමුත් අපිට දැනට දැනගන්න තියෙන කරුණුවලට අනුව අලුත් තණතිලිවල අලුත් ග්‍රවුන්ඩ්ස්වල ක්‍රීඩා කරන්නේ. අපි දන්නේ නෑ එහේ ඇත්තටම තත්ත්වය මොකද්ද කියලා. නමුත් මේක අපිට හොද සූදානමක් මොකද අපි සති දෙකකට වගේ කළින් ඇමරිකාවට යන නිසා. මැනේජ්මන්ට් එකයි අපේ ස්ටාෆ් එකයි ගත්ත ඒක ඉතාමත් හොඳ තීරණයක් ඒක. මොකද ඒ හරහා අපිට එහේ දේශගුණයට ඒ කාලය ඇතුළත ඉක්මනින් හැඩගැහෙන්න අවස්ථාව තියෙනවා“ යනුවෙන් තම පැරණි මතකයන් පිළිබඳව මෙන්ම කළින්ම ලෝක කුසලාන තරගාවලියට යෑමට අස්ථාව උදාවීම සම්බන්ධම ඇන්ජලෝ මැතිව්ස් අදහස් දක්වා සිටියේය.

මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා පිටත්ව යෑමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට සිය සුභපැතුම් එක් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගනු ලැබීය. ඊයේ (මැයි 13 වැනිදා) පස්වරුවේදී වනිඳු හසරංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමග සුහද කතා බහක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන් දිරිමත් කරමින් සුභාශිංසන එක් කිරීමට අමතක නොකළේය. මෙම අවස්ථාව සදහා ක්‍රීඩා හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයින්ද සහභාගිව සිටියහ.

“නායකයා විදියට මම සිලෙක්ටර්ස්ලගෙන් ඉල්ලුව කණ්ඩායම මට ඒ විදියටම ලැබුණා. ඒගොල්ලන්ට ස්තූතිවන්ත වෙන්න ඕන මට ඒ කන්ඩායම ලබා දුන්න එක ගැන. ඇත්තටම ගොඩක් සතුටින් මම මේ වර්ල්ඩකප් එකට යන්න ලෑස්තිවෙන්නේ.  ඒ වගේම කණ්ඩායමේ නායකයා ලෙස මේ කණ්ඩායම ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. අපේ ක්‍රීඩකයින් ඉතා හොඳින් දස්කම් දක්වලා තියෙනවා පසුගිය තරගාවලි තුනේ. ඇත්තටම මේ වසරේ අපිට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා අපිට මේ දේ කරන්න පුලුවන් කියලා“

“අපේ පන්දු යවන්නන් කීප දෙනෙක්ම අයි.පී.එල්. තරගාවලිය ක්‍රීඩා කරන්න ගියා. ඉතිං එයාලා එතන ක්‍රීඩා කරලා එතනිනුත් අත්දැකීම් අරන් තමයි එන්නේ. ඒ වගේම අපි දැක්කා පිතිකරුවෝ පසුගිය තරගාවලිවලදි කොයි තරම් හොඳට ක්‍රීඩා කරාද යන්න. මං හිතන්නේ කණ්ඩායමක් විදියට අපි පන්දු යවන්නන් සහ පන්දුවට පහර දෙන පිතිකරුවන් දෙපැත්තටම හොදට බැලන්ස් කරලා තමයි කණ්ඩායම සිලෙක්ට් කරලා තියෙන්නේ“යැයි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තමන් සතු විශ්වාසය පිළිබඳව වනිඳු හසරංග වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය.

මේ අතර තරගාවලිය පිළිබඳව තමන් දරන අදහස පිළිබඳව ඇන්ජලෝ මැතිව්ස් අදහස් දක්වා සිටියේ මේ අයුරිනි.

“හොද සූදානමක් තියෙනවා. මං හිතන්නේ කණ්ඩායමක් හැටියට අපි හොද පුහුණුවීම් සැසි කීපයක්ම පැවැත්වුවා පසුගිය සති කිහිපය තුළදීම. කණ්ඩායමක් විදියට හුඟාක්ම මහන්සි වුණා සහ සියලුම ක්‍රීඩකයින් තන තනිවම. මොකද අපි දන්නවා ලෝක කුසලානයක් කරා යනකොටා අපිට පුලුවන් උපරිම දක්ෂතාවල යෙදෙන්නට නම් හොද පුහුණුවීමක් ලබලා තියෙන්න ඕන. ඉතිං අපි කණ්ඩායමක් විදියට සෑහීමකට පත් වෙනවා කරපු පුහුණුවීම් සම්බන්ධව“.

“අපිට ඉතාමත් හෙඳම සංයුතියක් තියෙනවා. මං හිතන්නේ අපිට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින් සෑහෙන්න ඉන්නවා. ඒ කියන්නේ තනියෙන් මැච් එකක් දිනවන්න පුලුවන් ක්‍රීඩකයෝ ගොඩක් අපි සතුව ඉන්නවා“ යැයි මැතිව්ස් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

YouTube player

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar