slc
logo
Home   |    News
මැයි 4, 2024
පෙර පුහුණු තරගයෙන් යෙලෝ පිල ජය ලබයි

sinhala editor

අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන මීළඟ පිරිමි විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට පෙර පුහුණුවීිම් සිදුකිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාළිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සංවිධානය කර ඇති තරගාවලියේ මැයි මස 02 වැනිදා පැවැති දිවා/රාත්‍රී තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් යෙලෝ කණ්ඩායම ලකුණු 25කින් ශ්‍රී ලංකා ක්‍රිකට් රෙඩ්ස් කණ්ඩායම පරදා ජය ලැබීය.

රෙඩ්ස් කණ්ඩායම කාසියේ වාසිය දිනා යෙලෝ කණ්ඩායමට පන්දුවට පහරදීමට ඇරයුම් කළ අතර යෙලෝ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු තුනකට රැස් කළ ලකුණු 225ට පිළිතුරු ලෙස රෙඩ්ස් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 200කි.

කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරත වූ හෙයින් දෙපිලටම තම ඉනිම දෙක තුළ ලකුණු 425ක් වැනි ඉහළ සංඛ්‍යාවක් කරා යාමට අවස්ථාව උදා විණි.

යෙලෝ කණ්ඩායම පන්දුවට පහරදෙන අවස්ථාවේ එහි නායක කුසල් මෙන්ඩිස් නොදැවී ශතකයක් ද රෙඩ්ස් පන්දුවට පහර දෙද්දී කමිඳු මෙන්ඩිස් ලකුණු 82ක් ද රැස් කරමින් දැක් වු දක්ෂතා හුදෙක්ම මෙම සටන මෙන්ඩිස්ලා දෙදෙනා අතර වුණු සටනක් වශයෙන් කැපී පෙනෙනි. කෙසේ වෙතත් එම සටනින් කුසල් මෙන්ඩිස්ගේ යෙලෝ කණ්ඩායම ජය වාර්තා කළේය.

යෙලෝ කණ්ඩායමට ඕවර 20 නිම වන විට ලකුණු 225ක් වැනි දැවැන්ත වූ ලකුණු සංඛ්‍යාවක් කරා යාමට අවස්ථාව උදා වුයේ කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් ප්‍රවේගකාරී පිතිහරඹයක නියැ‍ළෙමින් පන්දු 50කට පමණක් මුහුණ දී හතරේ පහර අටක් සහ හයේ පහර අටක් සමඟ නොදැවී ශතකයක් රැස් කිරීමෙනි.

කුසල් මෙන්ඩිස් මේ ඉනිම පුරා යහපත් සබඳතා තුනක් පවත්වාගෙන යාමට ද මූලිකව ක්‍රියා කළේය. මෙහි ප්‍රබලම සබඳතාවය වුයේ දෙවන කඩුල්ලට තරුණ ක්‍රීඩක ෂෙවෝන් ඩැනියල් සමඟ පන්දු 78කදී (ඕවර 13කදී) රැස් කළ ලකුණු 141 වේ.

මීට අමතරව කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් සිව්වන කඩුල්ලට පන්දු 13කදී රැස් කළ වේගවත් ලකුණු 37ක නොදැවුණු සබඳතාවයත් මෙන්ඩිස් සහ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ප්‍රථම කඩුල්ලට පන්දු 21කදී ලැබු ලකුණු 33ත් කණ්ඩායමට ජීවයක් ලබා දීමට සමත් විය.

මෙන්ඩිස්ට අමතරව මේ ඉනිම වෙනුවෙන් දක්ෂතා දැක් වූ සෙසු පිතිකරුවන් වූ යොවුන් ක්‍රීඩක ෂෙවෝන් ඩැනියල් හතරේ හතරක් සහ හයේ තුනක් සමඟ ලකුණු 59ක් ද ප්‍රවීණ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් පන්දු නවයකදී හතරේ පහරක් සහ හයේ පහර තුනක් සමඟ නොදැවුණු කඩිනම් ලකුණු 27ක් ද පැතුම් නිශ්ශංක පන්දු 15කදී හතරේ තුනක් සහ හයේ පහරක් සමඟ ලකුණු 24ක් ද රැස් කළහ.

රෙඩ්ස් කණ්ඩායම ලකුණු 226ක් අභිබවා ජයග්‍රහණය ලැබීමේ අදිටනින් පැමිණි අවස්ථාවේදී කමිඳු මෙන්ඩිස් සහ නායක චරිත් අසලංක ඊට ළඟා වීමට දැඩි ප්‍රයත්නයක නියැළුණත් කමිඳු මෙන්ඩිස් ඕවර 17.1කදී මුළු ලකුණු 173දී හයවන කඩුල්ල ලෙස දැවී යාමත් සමඟ ඔවුන් කෙරෙන් ජයග්‍රහණ අපේක්ෂාවන් ක්‍රමයෙන් ගිළිහිණි.

මෙහිදී කමිඳු මෙන්ඩිස් පන්දු 48කදී හතරේ හයක් සහ හයේ හතරක් සමඟ ලකුණු 82ක් ද නායක චරිත් අසලංක පන්දු 15කදී හතරේ දෙකක් සහ හයේ පහර තුනක් සමඟ ලකුණු 35ක් ද රැස් කරමින් කණ්ඩායම වෙනුවෙන් ඉටු කළේ මහඟු සේවාවකි.

ඉනිම අගභාගයේදී ළහිරු සමරකෝන් පන්දු 11කදී හයේ පහර දෙකක් සමඟ ලකුණු 23ක් රැස් කරමින් අවසන් ඕවර කිහිපය තුළ ද සටන්කාමිත්වයක් දැක්වීය.

මේ ඉනිමේ හොඳම සබඳතා වුයේ කමිඳු මෙන්ඩිස් සහ අහන් වික්‍රමසිංහ තෙවන කඩුල්ලට පන්දු 34කදී එක් කළ ලකුණු 61 සහ සිව්වන කඩුල්ලට කමිඳු මෙන්ඩිස් සහ චරිත් අසලංක පන්දු 28කදී රැස් කළ ලකුණු 45ය.

මීට අමතරව නිරෝෂන් දික්වැල්ල පන්දු අටකදී හතරේ දෙකක් හයේ පහරක් සමඟ ලකුණු 17ක් ද අහන් වික්‍රමසිංහ පන්දු 13කදී හතරේ පහරක් සමඟ ලකුණු 15ක් ද ලැබීය.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකා ක්‍රිකට් යෙලෝ කණ්ඩායම ඕවර 20දී කඩුලු 3ට 225 – (කුසල් මෙන්ඩිස් නොදැවී 100, ෂෙවෝන් ඩැනියල් 59, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 27, පැතුම් නිශ්ශංක 24, නිමේෂ විමුක්ති 17/1, ළහිරු සමරකෝන් 8/1)

ශ්‍රී ලංකා ක්‍රිකට් රෙඩ්ස් ඕවර 20කදී කඩුලු 8ට 200යි – (කමිඳු මෙන්ඩිස් 82, චරිත් අසලංක 35, ළහිරු සමරකෝන් 23, නිරෝෂන් දික්වැල්ල 17, අහන් වික්‍රමසිංහ 15, දුනිත් වෙල්ලාලගේ 39/3, ළහිරු කුමාර 40/2යි)

බන්දුල මොල්ලිගොඩ

 

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee