slc
logo
Home   |    News
මැයි 4, 2024
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අමෙරිකාවත් පරාජය කරයි

sinhala editor

අබුඩාබිහි පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සිකුරාදා (03) අමෙරිකාව සමඟ පැවැති තරගයෙන් ලකුණු 18ක ජයක් ලැබීය. මේ තරගාවලියේ ‘ඒ‘ කොටසට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එම කොටසට අයත් කණ්ඩායම් පහ අතුරින් ඉදිරියෙන්ම සිටින්නේ සෙසු කණ්ඩායම් හතරම පරාජයට පත් කරමිනි.

ශ්‍රී ලංකා – අමෙරිකා තරගයේදී කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු හතරකට රැස් කළ ලකුණු 123ට පිළිතුරු ලෙස අමෙරිකාව ඕවර 20 අවසානයේ කඩුලු හයකට ලබා ගත්තේ ලකුණු 105කි. ශ්‍රී ලංකා නායිකාව චමරි අතපත්තු මේ තරගයේදී පන්දු යැවීමේදී දක්ෂතා දක්වමින් ලකුණු 14කට කඩුලු තුනක් දවා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තේරිණි.

ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළ ලකුණු 123ක ප්‍රමාණය අභිබවා යාමට අමෙරිකාව පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ පවර් ප්ලේ ඕවර හය තුළ ඔවුන් කඩුල්ලක් දැවී ලකුණු 22ක් පමණක් ලබා සිටියේ සෙමින් ලකුණු රැස් කරමිනි.

අමෙරිකාව වෙනුවෙන් වැඩිම ලකුණු  ලබා ගත් ඩිෂා ඩින්ග්‍රා පන්දු 29කදී ලකුණු 28ක් රැස් කළේ හතරේ පහර හතරක් ද සමඟිනි. මීට අමතරව නායිකාව සින්ධු ශ්‍රීහර්ෂා පන්දු 31කදී හතරේ තුනක් සමඟ ලකුණු 27ක් ලැබුවාය. පූජා ෂා රැස් කළ ලකුණු ප්‍රමාණය ලකුණු 20කි.

චමරිට (14/3) අමතරව උදේශිකා ප්‍රබෝධනී සහ ඉනෝකා රණවීර කඩුල්ල බැගින් දවාලුහ.

ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනා තීරණය කළේ මුලින් පන්දුවට පහරදීමටය. ගීටිකා කොඩාලි එවු ප්‍රථම ඕවරයේ අවසාන පන්දුව කඩුල්ලේ වැදීමෙන් ශ්‍රී ලංකා නායිකාව චමරි අතපත්තු ලකුණු හතරකට දැවී ගියේ මුළු ලකුණු හයක් සඳහන් වද්දීය.

දෙවන කඩුල්ලට විශ්මි ගුණරත්න සමඟ හර්ෂිතා සමරවික්‍රම පන්දු 48කදී එක් කළ ලකුණු 49ත් සිව්වන කඩුල්ලට නිලක්ෂිකා ද සිල්වා සහ හංසිමා කරුණාරත්න පන්දු 47කදී රැස් කළ ලකුණු 43ත් ලංකා කණ්ඩායමේ හොඳම සබඳතාවයන්ය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලැබු පිතිකාරිණියන් දෙදෙනා වූ හංසිමා කරුණාරත්න සහ විශ්මි ගුණරත්න රැස් කළේ ලකුණු 25 බැගිනි.

විශ්මි ගුණරත්න පන්දු 22කදී හතරේ තුනක් සමඟ ලකුණු 25ක් ද හංසිමා කරුණාරත්න පන්දු 27කදී හතරේ තුනක් සමඟ නොදැවී ලකුණු 25ක් ද රැස් කළහ. හර්ෂිතා සමරවික්‍රම ලකුණු 23ක් ද (පන්දු 31යි හතරේ තුනයි) නිලක්ෂිකා ද සිල්වා 21ක් ද (පන්දු 16යි හතරේ එකයි) අනුෂ්කා සංජීවනී නොදැවී ලකුණු 15ක් ද (පන්දු 16යි හතරේ පහරයි) වැඩිම ලකුණු රැස් කළ සෙසු පිතිකාරිණියන් වේ.

 ලකුණු පුවරුව

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 4ට 123යි (ඕවර 20යි) – (හංසිමා කරුණාරත්න නොදැවී 25, විශ්මි ගුණරත්න 25, හර්ෂිතා සමරවික්‍රම 23, නිලක්ෂි ද සිල්වා 21, අනුෂ්කා සංජීවනී නොදැවී 15, ෂාන්වි ඉමාධි 14/1, අඩිටිබා චුඩසාමා 22/1යි)

 අමෙරිකා කාන්තා කණ්ඩායම ඕවර 20දී කඩුලු 6ට 105යි – (ඩිසා ඩින්ග්‍රා 28,  සින්ධු ශ්‍රීහර්ෂා 27, පූජා ෂා 20, චමරි අතපත්තු 14/3, උදේශිකා ප්‍රබෝධනී 13/1, ඉනෝකා රණවීර 20/1යි)

Active filters

Recent Posts

  • ප්‍රීමා කුසලාන 15න් පහළ නැෂනල් යූත් 21 දා ඇරඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානත්වයෙන් සහ ප්‍රීමා ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන වයස අවුරුදු 15 න් පහළ නැෂනල් යූත් ලීග් පළාත් තරගාවලිය නොවැම්බර් මස 21 වැනිදා කොළඹදී ආරම්භ වනු ඇත. සමාරම්භක දිනයේදී […]
  • සිංහ – කිවි ප්‍රවේශපත්‍ර ගන්න මේ විදිහට කරන්න
    නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 2 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 සහ එක්දින තරගාවලිය සදහා වන ප්‍රවේශපත්‍ර අලෙවිය මේ වන විටත් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා […]
  • නාවික හමුදාවෙන් අර්ධ ශතක 3 ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන කාන්තා ආරාධිත අන්තර් සමාජ එක්දින මේජර් ක්‍රිකට් තරගාවලියේ අද (04) වැලිසර දී පැවැති නාවික හමුදාව සහ ටැමිල් යුනියන් අතර තරගයෙන් නාවික හමුදාව […]
  • ජාතික කණ්ඩායම්වලට උත්සව ඇඳුම් ‘සිග්නේචර්‘ වෙතින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උත්සව සහ සාමාන්‍ය අවස්ථාවල නිල ඇඳුම් සපයන්නා ලෙසින් මෙරට පිරිමි ඇඳුම් වෙළෙඳ ලකුණක් වන හමීඩියා සමූහ ව්‍යාපාරයේ සිග්නේචර් (Signature) සන්නාමය ඉදිරිපත්ව සිටියි. දෙපාර්ශ්වය අතර […]
  • වසර 17කට පසු ශ්‍රී ලංකා පිල හොංකොං සික්සස් ශූරතාව දිනයි
    වසර 17කට පසු හොංකොං සික්සස් ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට ළහිරු මධුසංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (3) සමත් විය. අවසන් මහා තරගයේදී පාකිස්තාන කණ්ඩායම කඩුලු 3කින් පරාජය […]

Pin It on Pinterest

USD United States (US) dollar