ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් විස්සයි 20 අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (24) පැවැති අර්ධ අවසාන පූර්ව තරග අතරින් මුවර්ස්, එන්.සී.සී. සහ බී.ආර්. සී. යන ක්‍රීඩා සමාජ ජයග්‍රහණ අත්කර කර ගනිමින් අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්වූහ. මෙදින පැවැත්වීමට නියමිතව තිබු බ්ලුම්ෆීල්ඩ් සහ සී.සී.සී. අතර තරගයට අයහපත් කාලගුණය හරස්වීම මත අවසන් පූර්ව තරග වරම කාසියේ වාසිය මත පදනම්ව ගැනිණ. එහි වාසිය තම්න සතු කරගත් බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්විය.
සරවනමුත්තු පිටියේ පැවැති තෙවන අර්ධ අවසාන පූර්ව තරගයේදී මුවර්ස් කඩුලු හයකින් ඒස් කැපිටල් පරාජය කළේ මුවර්ස් පිලේ රමේෂ් මෙන්ඩිස්ගේ තුන් ඉරියව් දක්ෂතා මුල් කර ගනිමිනි. ලකුණු 14කට කඩුලු දෙකක් දවා ගත් රමේෂ් පසුව පන්දුවට පහර දෙමින් නොදැවී ලකුණු 32ක් රැස් කරගත්තේය.
එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති කෝල්ට්ස් – එන්.සී.සී. තරගයේදී එන්.සී.සී. ජයග්‍රහණය වෙනුවෙන් දස්කම් පෑ එන්.සී.සී. කණ්ඩායමේ චාමික කරුණාරත්න ලකුණු 28කට කඩුලු දෙකක් දවා පසුව හයේ පහර හතරක් සහ හතරේ පහර දෙකක් සමඟ නොදැවී ලකුණු 48ක් රැස් කොට කැපී පෙනෙන දස්කම් දැක්වීය.
- මුවර්ස් පිලට කඩුලු 6 ක ජයක්
මුවර්ස් කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට ඒස් කැපිටල් වෙත පැවරූ අතර ඒස් කැපිටල් ඕවර 20 අවසානයේ කඩුලු නවයකට රැස් කළේ ලකුණු 111කි. එහි ඕවරයකට සාමාන්‍ය ලකුණු ප්‍රමාණය 5.55කි.
ඒස් කැපිටල් පන්දුවට පහර දෙද්දී ඕවර 12ක් අවසාන වන විට කඩුලු පහක් දැවී ලබා සිටියේ ලකුණු 39කි. ඔවුනගේ අංක තුන පිතිකරු පවන්ත වීරසිංහ පන්දු 44කට මුහුණදී හතරේ හයක් සමඟ ලකුණු 48ක් රැස් කරමින් ඉනිම සෙමින් ගොඩ නැඟීමට වෙහෙසක් ගත්තේය. පසුව පැමිණි අංක 8 පිතිකරු රවිඳු රත්නායක පන්දු 19කට මුහුණදී හතරේ පහර දෙකක් සහ හයේ පහර දෙකක් සමඟ නොදැවී ලකුණු 30ක් රැස් කරමින් කණ්ඩායම ලකුණු සියයේ සීමාව පසු කර වීමට දායක විය.
මුවර්ස් ලකුණු 112ක ජයග්‍රාහී ඉලක්කය කරා යද්දී ලකුණු 61කට කඩුලු හතරක් දැවී ගියත් පසිඳු සූරියබණ්ඩාර නොදැවී ලකුණු 32ක් ද (පන්දු 37යි හතරේ දෙකයි) රමේෂ් මෙන්ඩිස් නොදැවී ලකුණු 32ක් ද (පන්දු 35යි හතරේ හතරයි) පස්වන කඩුල්ලට නොදැවී ලකුණු 54ක සබඳතාවයක් තබා ගනිමින් කණ්ඩායම ජය මාවතට යොමු කළහ. රමේෂ් මෙන්ඩිස් තුන් ඉරියව්වේම දස්කම් පෑහ.
ඒස් කැපිටල් ඕවර 20දී කඩුලු 9ට 111යි – (පවන්ත වීරසිංහ 48, රවිඳු රත්නායක නොදැවී 30, නිම්සර අතරගල්ල 10, දිනුක දිල්ෂාන් 6/3, රමේෂ් මෙන්ඩිස් 14/2)
මුවර්ස් ඕවර 18.5කදී කඩුලු 4ට 115යි – (පසිඳු සූරියබණ්ඩාර නොදැවී 32, රමේෂ් මෙන්ඩිස් නොදැවී 32, දිනුක දිල්ෂාන් 24. සොහාන් ඩි ලිවේරා 14, ජනිෂ්ක පෙරේරා 08, දනාල් හේමන්ත 19/1, වනුජ සහන් 15/1යි)
- ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව එන්.සී.සී. පිලට ලකුණු 11 ක ජයක්
එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී උදයවරුවේ පැවැති එන්.සී.සී. සහ කෝල්ට්ස් ප්‍රථම අර්ධ අවසාන පූර්ව තරගයට අයහපත් කාලගුණය බලපෑ අතර එන්.සී.සී. මේ තරගය ලකුණු 11කින් ජය ගත්තේ ඩක්වර්ත් ලුවිස් ක්‍රමයටය.
එන්.සී.සී. මේ තරගයේ කාසියේ වාසිය දිනා තීරණය කළේ මුලින් පන්දු රැකීමටය. කෝල්ට්ස් පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ ආරම්භක පිතිකරු යුගල දිනේෂ් චන්දිමාල් ලකුණු 38ක් ද (පන්දු 19යි හතරේ පහයි හයේ දෙකයි) සහ යශෝධ ලංකා ලකුණු 77ක් ද (පන්දු 45යි හතරේ හයයි හයේ හයයි) ප්‍රථම කඩුල්ලට ප්‍රබල ආරම්භයක් ලබා දුන්නේ ඕවර 6.3කදී ලකුණු 73ක් රැස් කරමිනි.
කෝල්ට්ස් ඕවරයකට සාමාන්‍ය ලකුණු 8.5ක් රැස් කළත් එන්.සී.සී. කණ්ඩායමේ චාමික කරුණාරත්න පෙන් වූ තුන් ඉරියව් දක්ෂතා මේ තරගයේදී වඩාත් ඉහළින් කැපී පෙනුණි.
එන්.සී.සී. වෙනුවෙන් පන්දු යැවීමේදී ලකුණු 28කට කඩුලු දෙකක් දවාලු චාමික කරුණාරත්න පසුව පන්දුවට පහර දෙද්දී හතරේ පහර දෙකක් හයේ පහර හතරක් සමඟ නොදැවී ලකුණු 48ක් ලබා ගනිමින් කණ්ඩායමේ ජයග්‍රහණයට වැඩිම දායකත්වය ලබා දුන්නේය.
කෝල්ට්ස් ඕවර 20දී කඩුලු 9ට 170යි – (යශෝධ ලංකා 77, දිනේෂ් චන්දිමාල් 38, සනෝජ් දර්ශික 21, චාමික කරුණාරත්න 28/2, මතීෂ පතිරණ 19/2, ලසිත් ඇඹුල්දෙණිය 22/2යි).
එන්.සී.සී. කඩුලු 6ට 140 (ඕවර 15.3) වර්ෂාව මත තරගය නතර කරන විට – (චාමික කරුණාරත්න නොදැවී 48, නිරෝෂන් දික්වැල්ල 25, ළහිරු උදාර 22, කමිල් මිෂාර 17, චාමික ගුණසේකර නොදැවී 10, සනෝජ් දර්ශික 17/3, අකිල ධනංජය 18/2යි).
බී.ආර්. සී, පිලට ලකුණු 2 ක ජයක්
වර්ෂාව හේතුවෙන් පන්දුවාර 8 කට සීමා වෙමින් පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් බී.ආර්.සී. පිල කඩුලු 5 ක් දැවී ලකුණු 66 ක් රැස් කරන ලදුව ඊට පිළිතුරු ලෙස ටැමිල් යුනියන් පිලට රැස් කරගත හැකි වූයේ කඩුලු 8 ක් දැවී ලකුණු 64 ක් පමනි.
බී.ආර්. සී. පන්දුවාර 8 කදී කඩුලු 5 ට ලකුණු 66 යි – (තරිඳු රත්නායක 08/2)
ටැමිල් යුනියන් පන්දුවාර 8 කදී කඩුලු 8 ට ලකුණු 64 යි – (සිතාර හපුහින්න 27, මුර්වින් අබිනාෂ් 08/2, මොවින් සුබසිංහ 22/2)