slc
logo
Home   |    News
ජූනි 15, 2024
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එක්දින තරගාවලියේ පෙරමුණ ගනිති

sinhala editor

ලබන වසරේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සදහා බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකටම ඉතාමත් තීරණාත්මක තරගාවලියක් ලෙසින් අද (15 දා) හම්බන්තොටදී ආරම්භ වුණු පළමු එක්දින තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කරමින් තරගාවලිය 1-0 ක් ලෙසින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ.

ලකුණු 195 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමේදී නිලක්ෂි ද සිල්වාගේ පිත්තෙන් එල්ල වුණු හතරේ පහරත් සමඟ ශ්‍රී ලංකා ඉනිමේ ජයග්‍රහණය සනිටුහන් වන විට ලකුණු පුවරුවේ පන්දුවාර 15 කුත් පන්දු 5 ක් ඉතිරිව තිබිණ. කඩුලු 4@ ක් පමණක් ප්‍රතිවාදී පන්දු යවන්නියන් හමුවේ ලබාදෙමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය සනිටුහන් වද්දී හර්ෂිතා සමරවික්‍රමගේ නමින් පන්දු 53 කදී ලකුණු 43 ක්ද නිලක්ෂි ද සිල්වා පන්දු 2 කදී ලකුණු 8 ක් ද ලබා සිටියහ.

මෙම හඹා යෑමේදී නායිකා චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න ලකුණු 88 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකාවට අවශ්‍ය ස්ථාවර ආරම්භය ලබා දුන්හ. ඇලීන්ගේ පන්දුවකට පුල්  පහරක් එල්ල කිරීමට දරන ලද උත්සාහයේදී ඇය පෙරළා උඩපන්දුවක් රැක ගැනීම නිසා විශ්මිට පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය .ඒ වන විටත් ඇය අර්ධ ශතකයට ලකුණු 10 ක් මෑතින් සිටියාය. පන්දු 51 ක් පුරා විසිරුණු විශ්මිගේ ඉනිම හතරේ පහර 5 කින් වර්ණවත්ව තිබිණ.

වෙනදා දිග හැරෙන සිය සුපුරුදු පිතිහරඹ ප්‍රහාරය චමරිගෙන් දිස් නොවූ නමුත් ඇය පන්දු 36 කදී ලකුණු 38 ක් ලබා ගත්තාය. හතරේ පහර 6 කින් එම ඉනිම සමන්විත විය. විශ්මිගේ දැවී යෑමත් සමඟ ලකුණු 13 ක් ඇතුළත චමරි සහ කවීෂා දිල්හාරිද දැවී යෑම ශ්‍රී ලංකාවේ හඹා යෑම තරමක දෙදරවන්නක් විය.

එහෙත් සිව්වැනි කඩුල්ලට හර්ෂිතා සමරවික්‍රමට එකතු වුණු හසිනි පෙරේරා බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩ නගන ලද්දේ වැඩි කලබලයකින් තොරවය. ක්‍රීඩිකාවන් නොමැති තැන් වලට පන්දුව ස්ථාන ගත කිරීම, කඩුලු අතර වේගයෙන් දිව යෑම එම සම්බන්ධතාවයේ වටිනාකම තවත් වැඩි කරවන්නක් විය. ලකුණු 77 ක් වශයෙන් සනිටුහන් වුණු එම කඩුල්ලේ සම්බන්ධතාවය බිඳ වැටුණේ මැද ඉන්න කෙළින් ආ පන්දුවකට හෂිනි පෙරේරා එල්ල කරන ලද ස්වීප් පහර වැරදී යෑමෙනි. ෆ්ලෙචර්ගේ පන්දුවක් හමුවේ හර්ෂිතා දැවී යන විට ශ්‍රී ලංකා ජයග්‍රහණයට අවශ්‍යව පැවැතියේ ලකුණු 22 ක් පමණි. පන්දු 59 කට මුහුණ දුන් හසිනි ලබා ගත් ලකුණු 43 සඳහා හතරේ පහර 7 ක් එල්ල කර තිබුණාය.

ඉනිම අවසන් වන තෙක්ම කඩුල්ල ආරක්ෂා කර ගත් අංක 3 වමත් පිතිකාරිණී හර්ෂිතා සමරවික්‍රම ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූයේ තම ඉනිම හතරේ පහර 5 කින් වර්ණවත් කර ගනිමිනි.

කාසියේ වාසියේ ආරාධනයත් සමඟ පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 47.1 කදී සියලු දෙනා ලකුණු 195 කට දැවී ගියේය. පන්දු යැවීමේදී සුගන්දිකා කුමාරි ලකුණු 30 කට කඩුලු 3 ක්ද කවීෂා දිල්හාරි ලකුණු 41 කට කඩුලු 3 ක්ද දවා ගත්හ. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූයේ නායිකා හේලි මැතිව්ස් වන අතර ඇය පන්දු 53 කට මුහුණ දෙමින් ලකුණු 38 ක් ලබා ගත්තාය.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි තරගය ලබන 18 වැනිදා හම්බන්තොටදී පැවැත්වේ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 47.1 කදී ලකුණු 195 යි – (හේලි මැතිව් 38, ෂෙමයින් කැම්ප්බෙල් 27, ස්ටැෆනී ටේලර් 33, ෂිනෙල් හෙන්රි 13, ආලියා අලිනී 14, ක්‍රිෂ්මා රම්හරක් 14*, සුගන්ධිකා කුමාරි 30/3, කවීෂා දිල්හාරි 41/3, අචිනි කුලසූරිය 30/1, චමරි අතපත්තු 21/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 34.1 කදී කඩුලු 4 ට ලකුණු 198 යි – (විශ්මි ගුණරත්න 40, චමරි අතපත්තු 38, හර්ෂිතා සමරවික්‍රම 44, හසිනි පෙරේරා 43*, නිලක්ෂිකා සිල්වා 08*, අෆි ෆ්ලෙචර් 31/2, ආලියා අලිනී 22/2)

Active filters

Recent Posts

  • කොළඹ ලැබූ 386ට යාපනයේ පිළිතුර කඩුලු 7ක් දැවී 227යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ කොළඹ පිල පළමු ඉනිමට ලබාගත් ලකුණු 386ට පිළිතුරු ලෙස […]
  • ගාල්ල පළමු ඉනිමට ලකුණු 602යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ දෙවැනි දිනයේදී ගාල්ල පිලේ […]
  • මල්කිගේ මංගල දක්ෂතා ශ්‍රී ලංකාවට ජය විවර කර දෙයි
    තමන් සහභාගිවූ මංගල පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරගයේදීම දක්ෂතා අතරට පැමිණීමට සමත් මඳ වේග පන්දු යවන්නියක වන මල්කි මදරා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂ පන්දු යැවීම ප්‍රධාන කොට නවසීලන්ත කාන්තා […]
  • අවිශ්කගේ ප්‍රහාරයෙන් කොළඹ ලකුණු පුවරුව ඉහළ යයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ යාපනය පිලට එරෙහිව පන්දු 164කදී හයේ 2ක් හා හතරෙ […]
  • ගාල්ල පිල කඩුලු 4කට ලකුණු 336ක් ලබා ප්‍රබල තත්ත්වයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ පළමු දිනය නිමාවෙද්දී මුලින් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee