slc
logo
Home   |    News
ජූනි 21, 2024
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පූර්ණ තරගාවලි ජයක් වාර්තා කරති – ප්‍රසාද ලකුණු සටහනෙත් 4 වැනි තැනට එයි

sinhala editor

Chamila Karawita reporting from Hambantota

එළැඹෙන 2025 වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර 50 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත්වෙන කාන්තා ලෝක ශූරතා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම් මුණ ගැසුණු එක්දින තරගාවලියේ අවසන් තරගයෙන්ද ලකුණු 160 ක විශිෂ්ඨ ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවෝ 3-0 ක් වශයෙන් පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට අද (21 දා) පස්වරුවේදී සමත්වූහ.

මෙම තරග ජය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් වැඩිම ලකුණු පරතරයකින් මෙතෙක් වාර්තා කරන ලද දැවැන්ත තරග ජය ලෙසින් සටහන් විය. මීට පෙර එහි වාර්තාව වූයේ පාකිස්තානු කාන්තා පිලට එරෙහිව වාර්තා කර තිබූ ලකුණු 155 ක ජය විය. එමෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් එක්දින තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වන්නේද වසර 16 කට පසුුව වීම කැපී පෙනෙයි. අවසන් වතාවට ශ්‍රී ලංකා කාන්තා කන්ඩායම කොදෙව් කාන්තාවන්ව පරාජයට පත් කොට ඇත්තේ 2008/09 වසරේ පැවැති තරගාවලියේදී වේ. එමෙන්ම පූර්ණ එක්දින තරගාවලි ජයක් වාර්තා කරන ලද දෙවැනි අවස්ථාව ලෙසින්ද කොදෙව් පිලට එරෙහිව අද දිනයේ වාර්තා කරන ලද එක්දින තරගාවලි ජය සටහන් වේ. මීට පෙර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සුදර්ශනී සිල්වර්නාදන්ගේ නායකත්වය යටතේ 2002/03 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව කොදෙව් දූපත්හිදී පැවැති තරග 6 කින් සමන්විත එක්දින තරගාවලිය 6-0 ක් ලෙස ජය වාර්තා කිරීමට සමත්විය.

එම දැවැන්ත ජයද සමග කාන්තා ලෝක කුසලාන ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමටද චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබිණ. ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියෙන් මේ වන විට පසු වන්නේ ඔස්ට්‍රේලියාව, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව යන රටවල කාන්තා කණ්ඩායම් වෙති.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 6 ක් දැවී ලකුණු 275 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ගොඩ නැගුවද එය හඹා යෑමේදී කොදෙව් කාන්තාවන්ට ලබාගත හැකි වූයේ පන්දුවාර 34.5 කදී ලකුණු 115 ක් පමණි.

ඉලක්කය හඹා යෑඹ සඳහා පිටියට පිවිසි කොදෙව් පිතිකාරිණියන්ට පළමු පන්දුවාර 9 ඇතුළතදී කඩුලු 2 ක් ද දවා ගනිමින් ලකුණු 12 කට සීමා කොට දැඩි අභියෝගයක් ලබා දීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. කෙසේ වෙතත් සිව්වැනි කඩුල්ලට එක් වු චේඩීයන් නේෂන් (46) සහ ස්ටැෆනි ටේලර් (16) කොදෙව් ඉනිමේ ලකුණු ලබා ගැනීම තරමක් වේගවත් කළහ.

ආරම්භක පන්දු යවන්නියන් එසේ ලකුණු හිරකරද්දී සමස්ත ඉනිමේ කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වීමට නවක ක්‍රීඩිකා සචිනි නිසංසලා සමත්වූවාය. තම තෙවැනි ජාත්‍යන්තර එක්දින තරගයට බවට අද තරගය පත් කරගත් සචිනි කොදෙව් කණ්ඩායමේ කඩුලු 5 ක් දවා ගන්නා ලද්දේ පන්දුවාර 5 කුත් පන්දු 5 කදීය. ඒ වෙනුවෙන් නිලකුණු පන්දුවාරයක් යැවූ සචිනි ප්‍රතිවාදී පිතිකාරිණියන්ට ලබාදී තිබුණේ ලකුණු 28 ක් පමණි. පන්දු යැවීමේදී යළිත් වරක් සාර්ථක වුණු උදේශිකා ප්‍රෙබා්ධනී පන්දුවාර 6 කදී නිලකුණු පන්දුවාර 3 ක්ද සමගින් ලකුණු 06 කට එක් කඩුල්ලක් දවා ගනිද්දී කාව්‍යා කාවින්දි පන්දුවාර 6 කදී නිලකුණු පන්දුවාරයක් සමඟින් ලකුණු 28 කට කඩුල්ලක් දවා ගත්තාය. මෙම පන්දු යැවීම ප්‍රධාන කොට ඇයට අද තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානයද හිමිවිය.

පෙර තරග දෙකේදීම පළමුව පන්දුවට පහර දෙමින් පරාජයන්ට මුහුණ දුන් කොදෙව් කාන්තා කණ්ඩායම එහිදී ලද පරාජයන් හේතුවෙන් අද දිනයේදී පළමුව පන්දුවට පහර දීම සදහා ශ්‍රී ලංකා පිලට ආරාධනා කර සිටියේය. ඒ අනුව පන්දුවට පහර දීමට පැමිණ ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 119 කදී ලකුණු 93 ක සාර්ථක ආරම්භයක් එක් කිරීමට නායිකා චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න සමත්වූහ. පරිණත ක්‍රීඩිකාවක වශයෙන් චමරි සිය ළාබාල ක්‍රීඩිකාවට වේගයෙන් පන්දුවට පහර දීමට ඉඩ හැර තරමක හුදෙකලා වූ ඉනිමක නිරත වීම කැපී පෙනුණු නමුත්, වේගය වැඩි කිරීමට යෑමේදී විශ්මි ගුණරත්න අර්ධ ශතකය පෙනී පෙනී පළමු කඩුල්ල වශයෙන් ලකුණු 40 කට දැවී ගියාය. හතරේ පහර 6 ක් පමණක් ඇතුළතු වුණු විශ්මිගේ ඉනිම පන්දු 60 කින් සමන්විත විය.

විශ්මිගේ දැවී යෑමෙන් කණ්ඩායමට ලකුණු 6 ක් ඇතුළත කඩුලු 3 ක් අහිමිවීම කැපී පෙනුණු නමුත් අනතුරුව චමරිට එකතු වුණු නිලක්ෂිකා සිල්වා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 57 ක සම්බන්ධතාවක් එක් කිරීමට දායකත්වය දැක්වූවාය. චමරි ලකුණු 60 සීමාව ඉක්මවා යෑමත් සමඟ දැවැන්ත පහර කරා යෑමට දැඩි කැමැත්තක් සහ උත්සායක් දැරීම කැපී පෙනුණු නමුත් වෙනදා මෙන් දැවැන්ත පහර ඇයගේ පිත්තෙන් එල්ල නොවිණ. කෙසේ වෙතත් ශතකයට ලකුණු 9 ක් මෙපිටින් තම චමරි සිය කඩුල්ල අහිමිකර ගන්නා විට තම ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 10 කින් වර්ණවත් කරගෙන සිටියේ පන්දු 106 ක් පමණක් ඒ සඳහා වැය කරමිනි.

අද දිනයේ සිදුවූ තවත් සුවිශේෂීතම සිදුවීමක් වූයේ කඩුලු රකින ක්‍රීඩිකා අනුෂ්කා සංජීවනී සිය එක්දින තරග දිවියේ පළමු අර්ධ ශතකය වාර්තා කිරීමට සමත්වීමයි. ඇය සිය මංගල අර්ධ ශතකය රැස් කරන ලද්දේ තමන් සහභාගි වුණු 34 වැනි එක්දින තරගයේදී විය. නිලක්ෂිද සිල්වා සමග 5 වැනි කඩුල්ලට එක් වුණු අනුෂ්කා පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 117 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමීමට දායකත්වය දැක්වූවාය. පන්දු 56 ක් පමක් ඒ සඳහා වැය කළ අනුෂ්කා තම ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 6 කින්ද වර්ණවත් කරගෙන සිටියාය. ඇයට අනගි සහායක් ලබා දුන් නිලක්ෂිකා පන්දු 78 කදී ලකුණු 63 ක් රැස් කර ගත්තේ ඉනිම හතරේ පහර 8 කින් පමණක් වර්ණවත් කර ගනිමිනි. මෙය නිලක්ෂිගේ දෙවැනි එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකය බවට පත්වූවා පමණක් නොව ඇයගේ එම තරග දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව වශයෙන් සටහන් වීය.

තරගාවලි අවසානයේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරකවරියක වන වැනේසා ද සිල්වා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති ත්‍යාග ප්‍රධානයේදී මෙතෙක් පැවැති එක්දින තරග 3 ම දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මාන ප්‍රධානය කළ අතර එහිදී පළමු තරගයේදී හර්ෂිතා සමරවික්‍රම සහ දෙවැනි තරගයේදී කවීෂා දිල්හාරිද සම්මාන දිනාගත්හ. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් විශ්මි ගුණරත්න පිදුම් ලැබුවාය.

ශ්‍රී ලංකාව පන්දුවාර 50 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 275 යි – චමරි අතපත්තු 91, විශ්මි ගුණරත්න 44, හර්ෂිතා සමරවික්‍රම 1, හන්සිමා කරුණාරත්න 1, නිලක්ෂිකා සිල්වා 63, අනුෂ්කා සංජීවනී 55, ඔෂධී රණසිංහ 0*, සචිනි නිසංසලා 2*, කරිෂ්මා රම්රැක් 46/2, කියානා ජෝසප් 40/1, අෆි ෆ්ලෙචර් 36/1)

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 34.5 කදී ලකුණු 115 යි – චෙඩීන් නේෂන් 46, ස්ටැෆනි ටේලර් 16, ආලියා අලින් 27, කියානා ජෝසප් 11, සචිනි නිසංසලා 28/5, චමරි අතපත්තු 11/1, ඕෂධී රණිසිංහ 14/2, කාව්‍යා කාවින්දි 28/1, උදේශිකා ප්‍රෙබා්ධනී 06/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar