Chamila Karawita reporting from Pallekele
වසර 5 ක ඉතිහාසයකට උරුමකම් කියන අභිමානවත් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ එදාමෙදාතුර පිතිකරුවකු වාර්තා කරන ලද වේගවත්ම ශතකයට උරුමකම් කීමට දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා සමත්වුවද අවිශ්ක ප්‍රනාන්දු සහ චරිත් අසලංකගේ වාර්තාගත සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාව පෙරටුකොට LPL – 5 තරගාවලියේ සිව්වැනි තරගයේදී ජැෆ්නා පිල හමුවේ කඩුලු 4 ක පරාජයකට මුහුණ දීමට දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට අද (03 දා) සිදුවිය.
මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ලකුණු 192 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා කණ්ඩායම තරගය ජය වාර්තා කරන ලද්දේ ෆේබියන් ඇලන් විසින් එල්ල කරන ලද දැවැන්ත හයේ පහරද සමගිනි. නිමේෂ් විමුක්තිගේ පන්දුවකට ලෝන් ඕෆ් කළාපයට ඉහලින් එල්ල කරන ලද එම දැවැන්ත හයේ පහරත් සමඟ කඩුලු 4 ක ජයක් ජැෆ්නා කණ්ඩායමට හිමිවිය.
ජැෆ්නා ජයග්‍රහණය වෙනුවෙන් වැඩි දර දිය ඇදි අවිශ්ක ප්‍රනාන්දු සහ චරිත් අසලංක දෙදෙනා අතර සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 143 ක් විය. එය එල්.පී.එල්. තරගාවලියකදී ජැෆ්නා කණ්ඩායමේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පිතිකරුවන් යුගලක් වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවට පත්විය.
පළමු කඩුලු 3ම ලකුණු 36 දී බිඳ වැටුණද තරගයේ හරි අඩක් හෙවත් ඕවර 10 ක් අවසානදී ලකුණු 78 ක් ලබා සිටියේ අවිශ්ක සහ චරිත් සිය කඩුලු නොබිඳිව තබා ගනිමිනි. ඒ අතරතුර ඔවුන් දෙදෙනාට තරමක් අසීරුතාවක් ගෙන ඒමට දඹුලු පන්දු යවන්නන් සමත් වුවත් නිමේෂ් විමුක්තිගේ එක් පන්දු වාරයකට පිට පිට හයේ පහර 4 ක් එල්ල කරමින් එතෙක් දඹුල්ල සතුව තිබූ තරගයේ වාසිය තනිකරම කණපිට හැරවීය. කෙසේ වෙතත් අවසන් පන්දුව තෙක්ම තරගය රැගෙන යෑමට දඹුලු පන්දු යවන්නන් සමත් වුවත් ෆේබියන් ඇලන්ගේ දැවැන්ත හයේ පහරින් දඹුලු බලාපොරොත්තු සුන් විය.
අංක 4 පිතිකරු ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි අවිශ්ක ප්‍රනාන්දු පන්දු 34 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 7 ක් සමඟින් ලකුණු 80 ක්ද අසලංක පන්දු 36 කදී ලකුණු 50 ක්ද වාර්තා කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.
අද දිනයේ සුවිශේෂීතම ඉනිම ක්‍රීඩා කරන ලද කුසල් පෙරේරා තම මංගල එල්.පී.එල්. ශතකය පන්දු 50 කදී සපුරා ගත්තේය. ඒ අනුව ඔහු මෙතෙක් තරග ඉතිහාසයේ අවම පන්දු සංඛ්‍යාවකින් ශතකයක් වාර්තා කරන ලද පිතිකරුවාගේ වාර්තාව තමන් සන්තකයට කරගැනීමට සමත්වූවේය. ඔහු අද දින පසු කර යන ලද්දේ ඉකුත් 2023 වසරේදී කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ බාබර් අසාම් විසින් පන්දු 57 කදී රැස් කරගන්නා ශතකය විය. එම ශතකය හයේ පහර 5 කින් සහ හතරේ පහර 10 කින් සමන්විත විය. එයද අද දිනයේදී වාර්තාවක් බවට පත්වූයේ තරගයක ඉනිමක වැඩිම හයේ සහ හතරේ පහර වලින් ලකුණු වාර්තා කරන ලද (70) පිතිකරුවා බවට කුසල් පෙරේරා පත්වෙමිනි. මීට පෙර එම වාර්තාවට (64) හිමිකම් කියන ලද්දේ කුසල් මෙන්ඩිස්ය.
මේ අතර කුසල් අද වාර්තා කරන ලද්දේ මෙතෙක් එල්.පී.එල්. තරගාවලිවල පිතිකරුවකු වාර්තා කරන ලද පස්වැනි ශතකය වෙයි. ඔහුට පෙර ලොරී එවන්ස්, (පන්දු 60 කදී), අවිශ්ක ප්‍රනාන්දු (පන්දු 63 කදී), සහ ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් (පන්දු 66 කදී) එල්.පී.එල්. තරග වලදී ශතක ලද පිතිකරුවෝ වෙති.
දඹුල්ල සික්සර්ස් පන්දුවාර 20 කදී කඩුලු 2 ට ලකුණු 191 යි –
(කුසල් පෙරේරා 102, නුවනිඳු ප්‍රනාන්දු 40, මාක් චැප්මන් 33*, ධනංජය ද සිල්වා 25/2)
ජැෆ්නා කිංග්ස් පන්දුවාර 20 කදී කඩුලු 6 ට ලකුණු 197 යි
(පැතුම් නිස්සංක 27, අවිශ්ක ප්‍රනාන්දු 80, චරිත් අසලංක 50, ෆේබියන් ඇලන් 11*, නුවන් තුෂාර 34/2, මුස්ටෆිසුර් රෙහ්මාන් 30/2, මොහොමඩ් නබී 20/1)