slc
logo
Home   |    News
ජූලි 13, 2024
කණ්ඩායමට ඕන දේ ඉටු කිරීමට හැකිවීම ගැන සතුටුයි – දිනේෂ් චන්දිමාල්

sinhala editor

ජ්‍යෙෂ්ඨ පළපුරුදු ක්‍රීඩකයන් රැසක්ම කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම නියෝජනය කරනවා. අපගේ ප්‍රථම තරගය අප ජයගත්තත් ඉතිරි තරග තුනම තියුණු තරගවලින් පසුව අප පරාජයට පත් වුවා. නැවත මේ තරගාවලියට අවතීර්ණ වීමට කණ්ඩායමේ මේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් එක් අයෙකු  පන්දුවට පහරදීමේදී හෝ පන්දු යැවීමේදී විශේෂ දස්කමක් දැක්විය යුතුව තිබු බව අප දැන සිටියා. එය ඉටු කිරීමේ අවස්ථාව තමාට හිමි වීම පිළිබඳව සතුටු වන බව කැන්ඩි ෆැල්කන්ස් සහ ජැෆ්නා ක්න්ග්ස් අතර 09 වැනිදා දඹුල්ලේදී පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු කැන්ඩි කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිනේෂ් චන්දිමාල් තරගයෙන් පසුව ප්‍රකාශ කළේය.

“ජාතික මට්ටමේ (ශ්‍රී ලංකා කණ්ඩායමේ) මගේ ස්ථානය ලබා ගැනීම සඳහා මා විශාල සටනක් කළා. ඒ සඳහා මා පුහුණුව ලැබුවේ දැඩි කැප කිරීමකිනුයි. නැවත අවස්ථාව උදාවුවහොත් සුදු පැහැති පන්දුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් දස්කම් දැක්වීම මගේ එකම බලාපොරොත්තුව බව ද දිනේෂ් චන්දිමාල් කියයි.

මේ තරගයේදී මුලින් පන්දුවට පහරදුන් ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ ලකුණු 224 හඹායද්දී දිනේෂ් චන්දිමාල් ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසෙමින් පන්දු 37කට මුහුණ දී හතරේ පහර අටක් සහ හයේ පහර හතක් සමඟ ලකුණු 85ක් රැස් කළේ කැන්ඩි කණ්ඩායම ජයග්‍රහණය අසළටම රැගෙන යමිනි.

ලකුණු 225ක් රැස් කිරීමේ අරමුණින් අප පන්දුවට පහරදීමට පිටියට පිවිසියේ ප්‍රථම පන්දුවේ සිටම පන්දුවට වේගයෙන් පහර එල්ල කර ප්‍රථම ඕවර හය (පවර් ප්ලේ) නිම වන විට විශාල ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමේ අරමුණිනුයි. එය ඉටු කර ගැනීමට හැකි වීම පිළිබඳව මා සතුටු වනවා. ඒ සඳහා මා සිදු කළේ පන්දුවට එන පැත්තටම පහර දීම යැයි ද චන්දිමාල් පවසයි.

මේ තණතිල්ලේ පන්දු යැවීම අසීරු කරුණක්. මේ වගේ තණතිල්ලක පන්දු යවන්නකුට තමාගේ ඕවර හතර තුළ ලකුණු 35 පමණක් සැපයීමට හැකි නම් එයත් ජයග්‍රහණයක්.“

“ජැෆ්නා කණ්ඩායමේ පැතුම් නිශ්ශංක ජැෆ්නා ඉනිම ගොඩ ගැනීමට දැඩි වෙහෙසක් ගත්තා. පැතුම් ඉතාමත් දක්ෂ පිතිකරුවෙක්. ඔහු තරග සඳහා හොඳින්ම සූදානම් වනවා. තවත් වසර දහයක පමණ කාලයක් ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටු කිරීමට අවස්ථාව ලැබේවි“ යැයි ද චන්දිමාල් ප්‍රකාශ කළේය.

පැතුම් නිශ්ශංක මේ තරගයේදී ජැෆ්නා කින්ග්ස්ට ප්‍රබල ආරම්භයක් ලබාදීමේ අරමුණින් පන්දු 59කට මුහුණ දී හතරේ පහර 16ක් සහ හයේ පහර හතරක් සමඟ ලකුණු 119ක් රැස් කරමින් විශිෂ්ට ඉනිමක් දියත් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් සහ දඹුල්ලේ ක්‍රිකට් රසිකයන් පිළිබඳව අදහස් දැක් වූ දිනේෂ් චන්දිමාල් ඔවුන් ක්‍රීඩාවට දක්වන ඇල්ම සහ ආකර්ෂණය විශිෂ්ට බවත් අප දිනුවත් පැරැදුණත් ක්‍රීඩාලෝලීන් අප සමඟ සිටින බව ක්‍රිකට් ක්‍රීඩකයන් හොඳින්ම දන්නා බව ද කීවේය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee