Chamila Karawita reporting from Pallekele
නායක නිරෝෂන් දික්වැල්ලගේ වේගවත් පිතිහරඹයත් ඉසුරු උදානගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය ලෙසින් අද (03 දා) රාත්‍රියේ කලම්බු ස්ට්‍රයිකර්ස් පිලට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 07ක තියුණු ජයක් වාර්තා කිරීමට ගෝල් මාවල්ස් පිල සමත්විය. ඒ අනුව ගෝල් මාවල්ස් පිල මේ දක්වා තරග වැදි තරග 2ම ජය ගනිමින් දඹුල්ලේ පැවැත්වීමට නියමිත තරගාවලියේ දෙවැනි අදියර වෙත පියමං කරනු ලබන්නේ ප්‍රසාද ලකුණු සටහනේ අපරාජිතව ඉදිරියෙන් රැඳී සිටිමිනි.
ලකුණු 179 ක ඉලක්කයක් හඹා යෑම සදහා පිටියට පිවිසි කලම්බු ස්ට්‍රයිකර්ස් පිල වෙනුවෙන් සාර්ථක ආරම්භයක් එක් කිරීමට රාමනුල්ලා ගුර්බාස් සමත් වුවත් ස්ට්‍රයිකර්ස් නායක තිසර පෙරේරා ඇතුළු මැද පෙළ කඩුලු 3 ක් ලකුණු 11 ක් ඇතුළත දැවී යෑම, දැවැන්ත පාඩුවක් විය. කලම්බු පිලේ ඉනිම මැද කොටසේ පාලනය සම්පූර්ණයෙන්ම තමන් සතු කරගත් මාවල්ස් පන්දු යවන්නන් අතරින් ඉසුරු උදාන, සහන් ආරච්චිගේ සහ මල්ෂ තරුපතිගේ පන්දු යැවීම කැපී පෙනිණි.
ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාරයේදී ලකුණු 16 ක් ලබාගැනීමේ අභියෝගය කොළඹ කණ්ඩායම සතු වුවත් ඔවුන් ඒ වන විටත් ඔවුන් සතුව පන්දුවට පහරදීමට හැකි පිතිකරුවක් ලෙසින් ඉතිරිව සිටියේ දුනිත් වෙල්ලාලගේ පමණි. පළමු පන්දු තුනම නිලකුණු පන්දු ලෙසින් යැවීමට ඉසුරු උදාන සමත් වුවත් සිව්වැනි පන්දුවට හයේ පහරක් එල්ල කිරීමට දුනිත් සමත්වීම නිසා අවසන් පන්දු 2 දී ඉලක්කය ලකුණු 10 ක් බවට පත්වීම නිසා යළිත් තරගය දෙපිළටම විවෘත විය. කෙසේ වෙත්ත පස්වැනි පන්දුවට දුනිත්ට ලබාගත හැකි වූයේ ලකුණු 2 ක් පමණක් පමණි.
නායක නිරෝෂන් දික්වැල්ල යළිත් ලකුණු අතරට පිවිසෙමින් අද දිනයේදී මෙතෙක් එල්.පී.එල්. තරග ඉතිහාසයේ තෙවැනි වේගවත් අර්ධ ශතකයට හිමිකම් කීවේය. පන්දු 18 කට මුහුණ දුන් දික්වැල්ල ඒ සඳහා හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් එල්ල කළේය. ඒ අනුව දික්වැල්ලගේ අර්ධ ශතක තෙවැනි වන්නේ ඇන්ඩ්‍රෙ රසල් පන්දු 14 කදී ද රොව්මන් පවෙල් පන්දු 15 කදී ද රැස් කරන ලද අර්ධ ශතක විය.
පෙර තරගයේදී වේගවත්ව පන්දුවට පහර දුන් ඇලෙක්ස් හේල්ස්ට අද දිනයේදී සුපුරුදු රිද්මයට අවතීර්ණ වීමට අවස්ථාවක් නොලැබීය. හේල්ස් ලබාගත් ලකුණු 14 සඳහා ඔහු පන්දු 15 කට මුහුණ දුන්නේය. කෙසේ වෙතත් දික්වැල්ල වේගයෙන් පන්දුවට පහර දීම නිසා පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 දී ලකුණු 72 ක් රැස් කිරීමටට ගෝල් මාවල්ස් කණ්ඩායමට හැකියාව ලැබිණ.
මාවල්ස් පිලේ පළමු කඩුල්ල ලෙස හේල්ස් පිටියෙන් ඉවත්වීමත් සමග අනපේක්ෂිත දෙදරීමකට ලක් වූයේ පළමු කඩුලු 6 ම ලකුණු 23 කදී බිඳ වැටීම නිසාය. එම කඩා බිඳ දැමීමේ පුරෝගාමියා වූයේ ඊයේ දිනයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් ශදාබ් ඛාන්ය. ඔහු දික්වැල්ල, ටිම් සීෆර්ට්, ජනිත් ලියනගේ සහ ඩ්වයින් ප්‍රි ටෝරියස්ගේ කඩුලු දවා ගනිමින් මාවල්ස් පිල අමාරුවට ඇද දැමීය.
කෙසේ වෙතත් 7 වැනි කඩුල්ලට එක් වුණු සහන් ආරච්චිගේ සහ ඉසුරු උදාන පන්දු 51 දී ලකුණු 79 ක් එක් කරමින් මාවල්ස් කණ්ඩායම සටනක් දිය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යෑමේ පුරෝගාමීන් වූහ. ඒ වෙනුවෙන් සහන් ආරච්චි පන්දු 27 කදී ලකුණු 35 කින්ද උදාන පන්දු 34 කින් ලකුණු 54 කින්ද දායකත්වය දැක්වූහ. පන්දු යැවීමෙන් යළිත් කැපී පෙනුණු ශාදාබ් ඛාන් පන්දුවාර 4 කදී ලකුණු 21 කට කඩුලු 4 ක් ද බිනුර ප්‍රනාන්දු ලකුණු 22 කට කඩුලු 3 ක්ද බිඳ හෙළූහ.
මෙම තරගාවලියේ දෙවැනි අදියර රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තරග මේ මස 05 වැනිදා ගෝල් මාවල්ස් සහ ජැෆ්නා කිංග්ස් තරගයෙන් ආරම්භ වනු ඇත.
ගෝල් මාවල්ස් පන්දුවාර 20 කදී සියලුදෙනා දැවී ලකුණු 179 යි
නිරෝෂන් දික්වැල්ල 50, ඇලෙක්ස් හේල්ස් 14, ටිම් සීෆර්ට් 12, සහන් ආරච්චිගේ 35, ඉසුරු උදාන 52, ශදාබ් ඛාන් 21/4, බිනුර ප්‍රනාන්දු 22/3, මතීෂ පතිරණ 37/1)
කලම්බු ස්ට්‍රයිකර්ස් පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණු 172 යි
රාමනුල්ලා ගුර්බාස් 29, මුහම්මද් වසීම් 16, සදීර සමරවික්‍රම 16, ග්ලෙන් පිලිප්ස් 26, තිසර පෙරේරා 18, දුනිත් වෙල්ලාලගේ 45, චාමික කරුණාරත්න 12, මහීීෂ් තීක්ෂණ 20/2, ඉසුරු උදාන 34/2, සහන් ආරච්චිගේ 21/2, මල්ෂ තරුපති 25/1, සහූර් ඛාන් 32/1)