මේ වන විට ශ්‍රී ලංකාවේ උසස්ම මට්ටමේ තණතිලි ක්‍රිකට් ක්‍රීඩකයනට සැපයෙන හෙයින් ඉදිරියේදී දැනටත් වඩා ලකුණු රැස් කිරීමට පිතිකරුවනට අවස්ථාව උදා වනු ඇතැයි ජැෆ්නා කින්ග්ස් – දඹුල්ල සික්සර්ස් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ප්‍රකාශ කරයි.
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තණතිලිවල ඕවර 20කදී ලකුණු 195 ඉක්මවීමට තරම් උසස් මට්ටමක දැන් එම තණතිලි පවතින හෙයින් ඉදිරියේදී පිතිකරුවන් මේ තණතිල්ලේදී මීටත් වඩා ලකුණු ලබා ගනු ඇතැයි ද පැතුම් නිශ්ශංක කියයි.
තමා නියෝජනය කරන ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම මේ දක්වා තරග වැදුණු සියලුම තරගවලදී විශිෂ්ට ලෙස දස්කම් දක්වා ඇතැයි පවසන පැතුම් නිශ්ශංක දැනට තියෙන තත්ත්වය මත ඉදිරියේදී ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමෙන් මීටත් වඩා දක්ෂතා බලාපොරොත්තු විය හැකි යැයි ද පවසයි.
ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම නියෝජනය කරන විදේශීය ක්‍රීඩකයන් ද හොඳින්ම දස්කම් පෙන්වමින් සිටින අතර අප කණ්ඩායමේ දේශීය තරුණ ක්‍රීඩකයනට මේ විදේශීය ක්‍රීඩකයන්ගෙන් ඉගෙන ගත හැකි සහ ලැබිය හැකි පළපුරුද්ද අනාගතයේදී ඔවුනට උපකාරී වනු ඇතැයි ද ප්‍රකාශ කරයි.
මේ වන විට ශ්‍රී ලංකාව ක්‍රිකට් තරග සඳහා උසස්ම තණතිලි සැපයීම සතුටට කරුණකැයි කී ජැෆ්නා කින්ග්ස් පවසන ආරම්භක පිතිකරු අප ක්‍රීඩා කළ අවසාන තරගාවලියටත් මෙවැනි තණතිලි ලැබුණු අතර අනාගතයේදීත් මෙය ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කරන බව ද පවසයි.
උසස් මට්ටමේ තණතිලිවල ක්‍රීඩා කිරීමෙන් පිතිකරුවනට පමණක් පන්දු යවන්නන්ට ද ඉන් වාසි සැළසෙන බව කී පැතුම් නිශ්ශංක විශේෂයෙන්ම ශ්‍රී ලංකා පිතිකරුවන් අනාගතයේදී ජාත්‍යන්තර මට්ටමින් කැපී පෙනෙන තත්ත්වයකට පත්වනු ඇතැයි ද පැවසීය.
දඹුල්ල සික්සර්ස් සමඟ පැවැති තරගයේදී පැතුම් නිශ්ශංක ආරම්භක පිතිකරු ලෙස පන්දු 53කට මුහුණ දී හතරේ පහර නවයක් හයේ පහර හතරක් සමඟ ලකුණු 88ක් රැස් කළ අතර ඔහු තම කණ්ඩායමේ තෙවන කඩුල්ලට අවිශ්ක ප්‍රනාන්දු (ලකුණු 57යි පන්දු 30යි හතරේ තුනයි හයේ පහයි) සමඟ තැබු සබඳතාවය පන්දු 54කදී ලකුණු සියයකි.
මා හට ශතකය කරායාමට මේ තරගයේදී අවස්ථාව නොලැබීම ගැන මට සියුම් කණගාටුවක් ඇති වුවත් සමස්තයක් ලෙස කණ්ඩායම දැක් වූ දක්ෂතා පිළිබඳව ඊට වඩා සතුටු වන බව ද පැතුම් නිශ්ශංක කියයි.