slc
logo
Home   |    News
ජූලි 1, 2024
චැප්මන් සහ චමිඳු දඹුල්ල ගොඩ දමති

sinhala editor

Chamila Karawita reporting from Pallekele

මාක් චැප්මන් සහ චමිදු වික්‍රමසිංහ දෙදෙනා එක්ව අවසන් පන්දුවාර 5 න් ලකුණු 63 ක් උදුරා ගැනීමට සමත්වීම නිසා ලංකා ප්‍රිමියර් ලීග් නොහොත් LPL- 5 තරගාවලිය ආරම්භ කරමින් අද (01 දා) රාත්‍රියේ පල්ලේකැලේ පැවැත්වෙන විස්සයි-20 තරගයේදී වර්තමාන ශූරයින් වන කැන්ඩි ෆැල්කන්ස් පිලට එරෙහිව ලකුණු 180 ක දැවැන්ත ඉලක්කයක් ලබා දීමට දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට හැකියාව ලැබිණ.

මොවුන් මෙම දැවැන්ත ලකුණු පුවරුව ගොඩනංවන ලද්දේ පළමු කඩුලු 4 ම ලකුණු 25 ක් ඇතුළත දැවී ගොස් තිබියදී වීම විශේෂත්වයක් විය. දසුන් ශානක විසින් ධනුෂ්ක ගුණතිලක (11), නුවනිදු ප්‍රනාන්දු (04) සහ ටව්හිඩ් රිඩෝයි (1) තිදෙනාම දවා ගැනීමත් මොහොමඩ් හස්නේන් විසින් කුසල් පෙරේරාව දවා ගැනීමත් නිසා දඹුල්ල ඉනිම ආරම්භය කඩා වැටිණ. කෙසේ වෙතත් පස්වැනි කඩුල්ල සදහා නවසීලන්ත ක්‍රීඩක මාක් චැප්මන්ට එක් වුණු චමිඳු වික්‍රමසිංහ නොබිඳුණු ලකුණු 154 ක සම්බන්ධතාවක් පවත්වමින් දඹුල්ල පිල අවධානමෙන් මුදවා ගත්හ.

කැපී පෙනෙන පිතිහරඹයක නිරත වූ චැප්මන් අවසන් පන්දුවට එල්ල කරන ලද හතරේ පහරද සමඟ පන්දු 61 කදී ලකුණු 91 ක් ලබා සිටියේ තම ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 8 කින් වර්ණවත් කරදමමිනි. ඔහුට අනගි සහායක් ලබා දුන් චමිදු වික්‍රමසිංහ හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගින්  පන්දු 42 කදී වේගවත් ලකුණු 62 ක් වාර්තා කළේ තමන් සතු ප්‍රහාරාත්මක හැකියාව තම මංගල එල්.පී.එල්. තරගයේදීම පෙන්නුම් කිරීමට සමත්වූවේය.

මේ තරගාවලියට අලුතින්ම එක් කරන ලද විශේෂාංගය වන පවර් බ්ලාස්ට් අවස්ථාවේදී මොවුන් දෙදෙනාට රැස් කරගත හැකි වූයේ ලකුණු 13 ක් පමණක් වුවත්, අවසන් පන්දුවාර 10 දී (16 වැනි 17 වැනි පන්දුවාරද ඇතුළුව) ලකුණු 116 රැස් කිරීමට චමිඳු සහ චැප්මන් සමත්වීමද කැපී පෙනෙන්නකි.

වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති තුන් ඉරියව් ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ, කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහළින් ක්‍රිකට් පිටියට පිවිස සිටින්නේය. වමතින් පිත්ත හසුරුවන චමිදු පිතිකරණයේ නියැළීමේදී අවධානමින් තොරව  පහර එල්ල කළේ පාද චලනයන්ද ඉතාම නිවැරදි ආකාරයෙන් තබාගෙන වීම කැපී පෙනුණි. දුර්වල පන්දු වලට මෙන්ම හොඳ පන්දුවලටද කිසිදු අනුකම්පාවක් නොදැක්වූ චමිදු එල්ල කළ පහර සියල්ලෙහිම විශ්වාසනීයත්වයක් ගැබ්ව තිබිණ. පළමු පන්දුවාර 4 හැරුණු කොට කැන්ඩි කණ්ඩායමේ පන්දු යැවීම නම් සුභදායක මට්ටමක නොපැවතිණ. දසුන් ශානක පමණක් තම පන්දුවාර 4 දී ලකුණු 20 ක් පමණක් ලබා දී කඩුලු 3 ක් දවා ගනිද්දී හස්නේන්ගේ පන්දුවාර 4 දී ලකුණු 53 ක් උදුරා ගැනීමට චමිඳු-චැප්මන් සමත්වූහ.

ලකුණු පුවරුව
දඹුල්ල සික්සර්ස් ලකුණු පන්දු 4 6
ධනුෂ්ක ගුණතිලක ප.දසුන් ශානක 11 11 1 1
කුසල් පෙරේර ඇ.වනිඳු හසරංග ප.මොහොමඩ් හස්නේන් 0 4 0 0
නුවනිඳු ප්‍රනාන්දු ඇ.ඇන්ජලෝ මැතිව්ස් ප.දසුන් ශානක 4 4 1 0
ටව්හිඩ් රිඩෝයි කඩුල්ල මුවා කළා ප.දසුන් ශානක 1 2 0 0
මාක් චැප්මන් නොදැවී 91 61 8 4
චමිඳු වික්‍රමසිංහ නොදැවී 62 42 4 3
අතිරේක 10
එකතුව පන්දුවාර 20 කදී කඩුලු 4 ට ලකුණු 179
කඩුලු වැටීම / 1-13 (ගුණතිලක 2.2), 2-17 (නුවනිඳු 2.6), 3-18 (කුසල් 3.1), 4-25 (රිඩෝයි 4.1)
පන්දු යැවීම
දසුන් ශානක 4-0-20-3 දුෂ්මන්ත චමීර 4-0-27-0
මොහොමඩ් හස්නේන් 4-0-53-1 වනිඳු හසරංග 4-0-32-0
කමිඳු මෙන්ඩිස් 10-08-0 චමත් ගෝමස් 4-0-38-0

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee