කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ අවසානයට දැන් එළැඹ සිටියි. ඒ හෙට (25 දා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි සහ අවසන් තරගයටය. පළමු තරග 2 ම ජය ගනිමින් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවද, කොදෙව්වන්ට එරෙහිව හෙට ආරම්භ වන තරගයද සුළුවට ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානමක් නැත.ඔවුහු හෙට තරගයද ජය ගනිමින් තරගාවලිය සාර්ථකව අවසන් කර ගැනීමට මාන බලමින් සිටිති. කෙසේ වෙතත් හෙට තරගයට නවක ක්‍රීඩකයකුට හෝ දෙන්නෙකුට ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් නිර්මාණය කර ගැනීම කෙරෙහි නම් කණ්ඩායම් කලමනාකාරීත්වයේ අවධානය යොමු වී තිබෙන බව හෙට තරගය වෙනුවෙන් අද පල්ලේකැලේදී පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය විය.
“අපි හැම තරගයක්ම ජයග්‍රහණය කරන්න බලාපොරොත්තුවෙන් ක්‍රීඩා කරන්නේ, සහ ෆෝම් එකේ ඉන්න ක්‍රීඩකයන්ව ගොඩක් වෙලාවට යූස් කරයි කියලා හිතනවා“ යැයි එම මාධ්‍ය හමුවට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි සඳහන් කර සිටියේය.
හෙට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 11 දෙනා අතරට පැමිණීමට පැතුම් නිස්සංකද සූදානමින් සිටින බවද කණ්ඩම්බි මේ මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය. “මං දන්න තරමින් එයා ගහනවද නැද්ද කියන එක තවම තීරණය කරලා නෑ. ඇත්තටම ඒ තීරණය තේරීම් කමිටුව අතේ තියෙන එකක්. කොහොම වුණත් පැතුම් සූදානම් හෙට තරගය සෙල්ලම් කරන්න“ යැයි කණ්ඩම්බි පවසයි.
“කණ්ඩායමේ සංයුතිය ගැන කතා කලොත් ලොකු අවස්ථාවක් තියෙනවා ඩිල්ෂාන් මදුශංකට හෙට තරගයට ක්‍රීඩා කරන්න. අපි දැනටත් කතා කරනවා තව වේග පන්දු යවන්නෙක් එක්ක ක්‍රීඩා කරනවද නැද්ද කියන එක. මං හිතන්නේ ලොකු අවස්ථාවක් තියෙනවා තියෙනවා ඩිල්ෂාන්ට හොද කම්බැක් එකක් දෙන්න. මොකද ඩිල්ෂානුත් ඉන්ජරි එකකින් පස්සේ තමයි ආවේ. තරග තිබ්බෙත් නෑ ඉන්ජරි එකෙන් පස්සේ ක්‍රීඩා කරන්න. ඉතිං හොඳ අවස්ථාවක් ඔයා කියනවා වගේ. ඒත් එක්ක ලොකූ වෙනස්කම් කරන්න මං හිතන්නේ බලාපොරොත්තුවක් නෑ“ යැයිද කණ්ඩම්බි සඳහන් කර සිටියි.
කණ්ඩායම තුළ මේ වන විට පැහැදිළි වර්ධනයක් තිබෙන බව අනිවාර්යනේම සඳහන් කළ යුතු කරුණක් බව පවසා සිටින කණ්ඩබ්මි එහෙත් කණ්ඩායමක් ලෙස ඉදිරියට යෑමට නම් තවත් බොහෝ දේ හදාගත යුතු බවද සඳහන් කර සිටියි.
“අපි නිර්මාණය කරන්නේ වර්ල්ඩ් ක්ලාස් ටීම් එකක්, ඒක වෙන්නේ කොහොමද කියන එක තමයි අපි ඔක්කොගෙම අයිඩියා එක තියෙන්නේ. අපි එතැනට යනකොට තව ඒරියාස් තියෙනවා අපිට හදාගන්න. හැබැයි තිබුණු තැනත් එක්ක බලපුවහම මට හිතෙනවා වර්ධනයක් තියෙනවා කියලා“ යනුවෙන් කණ්ඩම්බි කියයි.
නායකයකු ලෙස චරිත් අසලංක ඉතාමත් හොඳින් තම කාර්යය ඉටු කරමින් සිටින බවද සඳහන් කර සිටින පිතිකරණ පුහුණුකරුවා, ඔහුට කුඩා කල සිටම ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව හසල බුද්ධියක් තිබෙන පුද්ගලයකු බවත්, ඔහුගේ වටිනාම දේ ඔහු ගොඩක්ම මහන්සි වෙන්න කැමැති කෙනෙක් වීමත් බවත් සඳහන් කර සිටියි.
“චරිත් කියන්නේ කොහොමත් ක්‍රිකට් ගැන පොඩි කාලෙ ඉඳලම හොඳ බුද්දියක් තියෙන කෙනෙක් සහ ගොඩක් මහන්සි වෙන්න කැමැති කෙකෙන්. ඉතිං මං හිතනවා එයා අන්තර් සමාජ තරග වල ඉඳලම ක්‍රීඩා කරගෙන ආපු විලාසය එයාගේ ඉන්ටර්නැෂනල් ලෙවල් එක පෙන්නන්න පටන් අරන් තියෙනවා. මං හිතන්නේ තරගාවලියට පෙර පැවැති එන්.එස්.එල්. ෆයිනල් එකේ 200 ක් ලබා ගත්ත එකත් එයාට ලොකු විශ්වාසයක් වුණා. ඒ විශ්වාසයත් එක්ක එයා හරි නිදහසේ බැට් කරනවා. ලොකුම දේ තමයි මම හැම තිස්සෙම ඉල්ලන්නේ නොම්බර 5, 6 ක්‍රීඩා කරන අයගෙන් තරගය අවසන් වනකල් පන්දුවට පහර එල්ල කරන්න කියලා. ඉතිං චරිත් නායකයෙක් හැටියට ඒ වගකීම අරගෙන අවසන් තරගයෙත් මං හිතන්නේ ඉතාමත් හොඳින් පන්දුවට පහර එල්ල කළා“ යැයි නායකයා පිළිබඳව කණ්ඩම්බි තම අදහස දිග හැරියේය.
තමන් පිතිකරණ පුහුණුකරු තනතුරේ කටයුතු භාර ගත් දිනයේ සිට මේ දක්වා කිසිම ආකාරයකින් ලොකු වෙනස්කම් සිදු කිරීමට නොගිය බවද කණ්ඩම්බි මෙහිදී සඳහන් කර සිටියේය. “මම කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු විදියට ලොකු වෙනස්කම් කරන්න ගියේ නෑ. ඒගොල්ලන්ගේ හිතේ තිබුණු ඩවුට්ස් ක්ලියර් කරන එක තමයි තිබ්බ ලොකුම චැලේන්ජ් එක. ඉතිං එතැනදි කියන්න ඕන සනත් අයියත් ලොකු බැකිං එකක් දෙනවා ප්ලේයර්ස්ලාට කෙළින් කියන්න ඕන දේවල් අපි කිව්වා. වැරදි හදාගන්න ඕන තැන්. ඒක අපි බැලුවේ නෑ ගොඩක් ක්‍රීඩා කරපු ක්‍රීඩකයින් ද නැද්ද කියන එක. හැබැයි අපි හරි මැසේජ් එක දුන්නා. ඉතිිං ඒගොල්ලන් ක්ලියර් ප්ලෑන් එකකට වැඩ කරනවා. ලොකුම දේ තියෙන්නේ එයාලගේ කැපවීම. මං හිතනවා එයාලා හැමෝම දැන් අද වුණත් නෙට් එකට ගියොත් බලන්න පුලුවන් කොච්චර බෝල ප්‍රමාණයක් එයාලා ගහනවද කියලා. සමහර පොඩි පොඩි දේවල් තිබ්බා මැච් එකට ඉස්සෙල්ලා දවසේ ගහන්නේ නෑ කියලා. දැන් එහෙම එකක් නෑ ඇත්තටම. ඒගොල්ලන් ආසාවෙන් ඇවිල්ලා ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් කරගන්නවා. පුහුනුකරුවන් විදියට අපි ඒ ෆැසිලිටි එක හදලා දෙනවා. එතැනින් එහාට ලොකූ වෙනස්කම් මං හිතන්නේ නෑ කරා කියලා සහ කරන්න යන්නෙත් නෑ“ යනුවෙන් කණ්ඩම්බි සඳහන් කර සිටියේය.
මේ අතර ශ්‍රී දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ පැවැත්වෙන ටෙස්ට් තරග 2 ට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ කීප දෙනෙකු එළැඹෙන නොවැම්බර් මස 12 වැනිදා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යෑමට නියමිත බවද කණ්ඩම්බිගෙන් සිදුකරන ලද විමසීමේදී ඔහු සඳහන් කර සිටියේය. එම කණ්ඩායම සමග පුහුණුකරුවන් දෙදෙනකුද දකුණු අප්‍රිකාව බලා යෑමට සූදානම් බවද ඔහු වැඩිදුරටත් කරුණු දක්වා සිටියේය.
“12 වැනිදා වෙනකොට අපේ ටෙස්ට් ක්‍රීඩකයින් දකුණ අප්‍රිකාවට යනවා පුහුණුකරුවන් දෙපළක් එක්ක. ඒත් එක්කම මේ දවස්වල කතා කරගෙන යනවා කොයි ක්‍රීඩකයන්වද මෙතන ඉන්න නිදහස් කරන්න පුලුවන් කියලා. හැබැයි ඒකට තීරණයක් අරගෙන නෑ. මොකද අපි හොද මොමෙන්ටම් එකක ඉන්න වෙලාවක්. නවසීලන්ත තරගාවලියත් අපිට වැදගත් සංචාරයක්. මොකද ඔවුන් රෑංකිං වලින් අපිට වඩා උඩින් ඉන්න ටීම් එකක්. ඒ තරගාවලියත් ජයග්‍රහණය කිරීම වැදගත්. ඒත් එක්කම මම ඔබත් එක්ක එකඟවෙනවා ටෙස්ට් චැම්පියන්ශිප් එකට ප්‍රෙපරේෂන් වෙන එක තියෙන්න ඕන එකක්. මොකද දකුණු අප්‍රිකාව කියන්නේ ටිකක් ලේසි තැනැක් නොවෙයි ගොඩක් වෙලාවට පිතිකරුවන්ට. ඒක ගැන සාකච්ඡාවක් යනවා මේ අවස්ථාවේදී“ යි කණ්ඩම්බි සඳහන් කර සිටියේය.