ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම් අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (24 දා) පැවැති පළමු යොවුන් එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට තරග විනිසුරුවරුන්ට සිදුවිය.
පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 141 කට දැවී ගිය අතර එහිදී අගනා පන්දු යැවීමක නිරත වූ විග්නේෂ්වරන් ආකාෂ් ලකුණු 27 කට කඩුලු 5 ක් දවා ගත්තේය. මෙම තරගයේදී 30 වැනි පන්දුවාරය වන විටත් බංග්ලාදේශ පිල කඩුලු 4 කට ලකුණු 126 ක් ලබා ප්‍රභල තත්ත්වයක පසු වුවත්, ආකාෂ් සහ රසිත් නිම්සර එක්ව පන්දුවාර 4 කදී ප්‍රතිවාදී ඉනිම ලකුණු 141 කට සීමා කළහ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම ආරම්භ වීමෙන් පසු තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවූ බැවින් යළිත් තරගය ආරම්භ වන විට ජයග්‍රාහී ඉලක්කය ලකුණු 126 ක් ලෙසින් සංශෝධනය වූ නමුත් තරගය ප.ව. 4.55 ට අතහැර දමන විටත් ශ්‍රී ලංකා පිල ක්‍රීඩා කර තිබුණේ පන්දුවාර 5.3 ක් පමණි. ඒ අතරතුර ලකුණු 23 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් වද්දී ප්‍රතිවාදී පන්දු යවන්නන් එක් කඩුල්ලක් ශ්‍රී ලංකා පිලේ දවා ගැනීමට සමත්ව සිටියේය.
බංග්ලාදේශ අවු. 17 න් පහළ පිල පන්දුවාර 33.5 කදී සියලු දෙනා දැවී ලකුණු 141 යි
අබ්දුල්ලා අල්මුයි 31, රිදෝයි හොසේන් 40, ෆර්හාන් සදීක් 10, අසනුල් හක් 26, රකිබුල් හොසේන් 10, රසිත් නිම්සර 19/2, විගනේෂ්වරන් ආකාශ් 27/5)
ශ්‍රී ලංකා අවු. 17 න් පහළ පිල පන්දුවාර 5.3 කදී කඩුල්ලක් දැවී ලකුණු 23 යි
රෙහාන් පීරිස් 10*