ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවත වතාවක් තරග දිනවා දිය හැකි ක්‍රීඩකයකු බවට පත්වීම තම අපේක්ෂාව යැයි ශ්‍රී ලංකා ‘ඒ ‘ ක්‍රිකට් කණ්ඩායමේ නායක සධීර සමරවික්‍රම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එක්දින තුන්කොන් තරගාවලියට අබුඩාබි බලා යාමට පෙර ක්‍රිකට් මුලස්ථානයේ දී ප්‍රකාශ කළේය.
ඕනෑම පිතිකරුවකු අසාර්ථක තත්ත්වයට පත්වීම සාමාන්‍ය සිදුවීමක් යැයි කී සධීර සමරවික්‍රම තමාගේ වැරැදි සහ දුර්වලතා සකස් කරගෙන නැවත ලකුණු අතරට පිවසීමට අවස්ථාවක් ලබාදීම පිළිබඳව තේරීම් කමිටුවට ස්තුතිවන්ත වන බව ද කීවේය. තමාගේ අත්දැකීම් සහ පළපුරුද්ද උපයෝගී කර ගනිමින් කණ්ඩායමේ සෙසු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ උපදෙස් සහ යොවුන් ක්‍රීඩකයන්ගේ සහය ඇතිව මේ තරගාවලිය ජය ගැනීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.
‘ඒ කණ්ඩායමට නම් කර සිටින ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවේ මේ වන විට සිටින දක්ෂතම පිතිකරුවන් සහ වැඩිම කඩුලු දවාලු දක්ෂම පන්දු යවන්නන් බව පැවසු ශ්‍රී ලංකා ‘ඒ ‘ නායකයා මොවුන්ගේ සහය ඇතිව මේ සංචාරයට සාර්ථකව මුහුණදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද පැවසීය.
අබුඩාඩි ක්‍රීඩාංගණයේ තණතිලිවල තමා මීට පෙර ක්‍රීඩා කර ඇතැයි කී සදීර පිතිකරුවනට වඩාත් වාසි ගෙන දෙන මේ තණතිලිවල අපගේ ක්‍රීඩකයන් හොඳින්ම ක්‍රීඩා කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද කීවේය.
“ඇෆ්ගනිස්තානය මෑතක දී ලොවට දක්ෂතම ක්‍රීඩකයන් බිහි කළ රටක් බව අප පිළිගත යුතුයි. අයර්ලන්තයේ ක්‍රීඩකයනුත් ඒ වගේම දක්ෂයි. උපරිම දක්ෂතා පෙන්වා මේ සංචාරය සාර්ථක කර ගැනීම අප සැමගේ අපේක්ෂාවයි“.
“ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයනගේ දක්ෂතා වැඩි දියුණු කර ගැනීමට පසුගිය දිනවල පැවැති නැෂනල් සුපර් ලීග් තරගාවලිය බෙහෙවින් බලපෑවා. එමගින් තරුණ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුත් බිහි වුවා. පන්දු යැවීමේදීත් ප්‍රබල දක්ෂතා අප දුටුවා. මේ සියල්ල උපයෝගී කර ගනිමින් අබුඩාබි තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සාර්ථක කර ගැනීමට අපේක්ෂා කරනවා“ යැයි සධීර සමරවික්‍රම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.