පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ වේගයෙන්ම පන්දු යැවිය හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෑතකදී වේග පන්දු යවන්නන්ගේ දක්ෂතා ගවේෂණය කිරීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය.
පොලොන්නරුව රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම දක්ෂතා ගවේෂණ වැඩසටහන සඳහා දිස්ත්‍රික්කයේ පාසල් නියෝජනය කරනු ලබන ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60 දෙනෙකු මෙහිදී දිස්ත්‍රික් සහ පළාත් පුහුණුකරුවන්ගේ නෙත ගැටිණ. මේ සඳහා සහභාගිවුණු සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ඔවුන්ගේ වේග පන්දු යැවීමේ හැකියාව ඇගැයීම සඳහා වන කුසලතා තක්සේරු කිරීමක් සිදුකරන ලදී.
මෙම ඇගැයීම් කටයුතුවලින් පසුව තවදුරටත් සංවර්ධිත සංචිතය සඳහා දක්ෂ පන්දු යවන්නන් 20 දෙනෙකු තෝරාගනු ලැබීය. එසේ තෝරාගත් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පළාත් සඳහා අනුයුක්ත කර ඇති පුහුණුකරුවන්ගේ මඟ පෙන්වීම යටතේ වැඩිදුරටත් පුහුණුව ලබන අතර, එහිදී වැඩි වශයෙන්ම එම වේග පන්දු යවන්නන්ගේ දක්ෂතා තවදුරටත් මුවහත් කරමින් සහ ඔවුන්ගේ සමස්ථ කාර්යය සාධනය වැඩි දියුණු කිරීම සඳහා අවධානය යොමු කෙරෙනු ඇත.
මේ අතරින් කැපී පෙනෙන දක්ෂතා දක්වමින් අඛණ්ඩ දියුණුවක් පෙන්නුම් කරනු ලබන ක්‍රීඩකයින් හට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දියත් කර ඇති ජාතික ක්‍රිකට් ගමන් මඟ යටතේ දිස්ත්‍රික් තුළ පිහිටුවා ඇති දිස්ත්‍රික් සංචිතවලට සම්බන්ධවීමට අවස්ථාව වඋදාවනු ඇත.
මෙම වැඩසටහනද ශ්‍රී ලංකාව පුරා විසිරී තිබෙන ග්‍රාමීය ප්‍රදේශවල සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා සොයා යෑම වෙනුවෙන් දියත් කර ඇති ‘ක්‍රිකට් ගමට‘ වැඩසටහනේ කොටසක් ලෙසින් පැවැත්වේ. මෙම වේග පන්දු යවන්නන්ගේ දක්ෂතා ගවේෂණ වැඩසටහන උතුරු මැද සහ වයඹ පළාත්වල දක්ෂතා ඇගැයීම් වෙනුවෙන් පත් කළ ඇති ලසන්ත ලක්මින්, උතුරු මැද පළාත් කාන්තා පුහුණුකරු ලක්ෂිත හේරත් සහ උතුරු මැද පළාත් වේග පන්දු පුහුණුකරු සමන් සේනානායක යන මහත්වරුන් විසින් සිදු කරන ලදී.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මඟ පෙන්වීම යටතේ උතුරු මැද පළාත් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන ලද මෙම දක්ෂතා ගවේෂණ වැඩසටහන දඹුල්ලෙහි පිහිටුවා තිබෙන විශිෂ්ඨතා මධ්‍යස්ථානයේ කලමනාකරු වන ක්‍රිෂාන් ආනන්දකුමාර් විසින් කලමණාකරණය කරන ලදී.