– පැතුම් නිශ්ශංක
බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට තව දුරටත් හොදින් අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා පිල ලකුණු 200ක් 250ක් පමණ ඉදිරියෙන් සිට ඔවුන්ට තුන්වැනි ඉනිමේ පන්දුවට පහරදීමට අවස්ථාව ලබා දිය යුතු බව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පැවැසීය. දින දෙකක් ඉතිරිව ඇති නිසා ඒ සඳහා ඉඩකඩ ඇතැයි හෙතෙම විශ්වාසය පළ කළේ අද (19) ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ නිමාවත් සමඟ පැවැති මාධ්‍ය හමුවේදීය.
ප්‍රශ්නය: කලින් දකුණු අප්‍රිකාවේ පෝට් එළිසබර්ත්හිදී තරගයක් දිනලා ඔබට ශතකයක් ගිළිහී ගියා. මේ තරගයේදී ද්විත්ව ශතකය අහිමි වුණා. මොකද හිතන්නේ?
පිළිතුර: ගොඩක් සතුටුයි මේ ඉනිම ගැන. මොකද මම ශ්‍රී ලංකාව ඇතුලේ ටෙස්ට් ශතකයක් ගහලා තිබුණේ නෑ. ඒ මානසිකත්වය කඩා ගන්න මට ඕන වෙලා තිබුණා. ඒක කරගන්න පුළුවන් වුණා.
ප්‍රශ්නය: ලකුණු 200 සීමාවට යන්න බැරි වුණා. නමුත් ශතකයක් ලබා ගත්තා. මොකක්ද ඔබේ අදහස?
පිළිතුර: ඔව් පොඩි කණගාටුවක් තියෙනවා ද්විත්ව ශතකය අහිමිවීම සම්බන්ධව. ලොකුවට ඒ ගැන හිතන්‍නේ නෑ. මේ තරගාවලියේ තව තරගයක් තියෙනවා.
ප්‍රශ්නය: පළමු කඩුල්ල බිඳ වැටුණු පසු ඔබේ හා චන්දිමාල්ගේ සැලසුම වුණේ මොකක්ද?
පිළිතුර: ඇත්තටම විකට් එක ස්ලෝ වෙලා තිබුණේ. අපි කතා වුණා ටිකක් හෙමින් ගහමු කියලා. එතකොට පන්දුවේ ඔපය අඩු වුණා. ඊට පස්සේ පහර දෙන්න පහසු වුණා.
ප්‍රශ්නය: පැතුම්. අපට වාසියක් වෙන විදිහට දැන් ඉදිරිය කොහොමද මේ තරගයේ සැලසුම් කර ගන්නේ?
පිළිතුර: මේ තරගයට හොදින් අවතීර්ණ වෙන්න නම් අපි තවත් හොදට ලකුණු ගන්න අවශ්‍යයි. ලකුණු 200ක් 250ක් ඔවුන්ට තුන්වැනි ඉනිමේදී දෙන්න අවශ්‍යයි. තව දවස් දෙකක්ම තියෙන නිසා ඉඩ තියෙනවා අපිට ඒක කරන්න.
ප්‍රශ්නය: ඔබයි ළහිරු උදාරයි ආපු ගමන් ලකුණු වේගය 4.7 විතර වුණා. මේ තරගයේ සැලසුම වුණේ මොකක්ද?
පිළිතුර : අපි තරගාවලිය ආරම්භ කරන්න අපේ තිබුනා ටාගට් එකක් මේ සර්කල් එකේ මේ අවරුද්ද ඉවර වෙද්දි ලකුණු ලබා ගැනීමේ වේගය උඩින් තියාගත යුතුයි කියලා. අපි උත්සහ කළා. ඒක සාර්ථක වුණා. ඉදිරියේදීත් ඒ තත්ත්වය තියා ගන්න ඕනේ.
ප්‍රශ්නය: පැතුම් ඔබ මේ දක්ෂතා දක්වන්‍නේ ඇන්ජලෝ සමුගන්නා තරගයේ. මොකක්ද ඒ ගැන කියන්න තියෙන්නේ?
පිළිතුර: ඇන්ජි වගේ ලෙජන්ඩ් කෙනෙක් එක්ක ක්‍රීඩා කිරීම පිළිබඳ කියන්න බැරි සතුටක් තියෙනවා. මේ අවසන් තරගයෙන් පසු ඔහුගේ ඉදිරි කටයුතු වෙනුවෙන් සුබපැතුම් එක් කරනවා.
ප්‍රශ්නය: ඔබ ටිකක් වේගයෙන් අද ලකුණු රැස් කළා. මේක එක්දින හා විස්සයි20 තරග රටාව නිසා ඔබට ලැබුණු දෙයක්ද?
පිළිතුර: නෑ. රන් රේට් එක බැලුවහම ටෙස්ට් රටවල් අතින් අපි ඉන්නේ හත්වැනි තැන. 3.5 ක් වගේ ගාණක්. ඉතිං අපි බලන්නේ එක තව පොයින්ට් දෙකක් වගේ වැඩි කර ගන්න. දැන් ටෙස්ට් ක්‍රිකට් වල පොඩ්ඩක් ලකුණු ලබා ගැනීමේ වේගය උඩට ගන්න අවශ්‍යයි. ලෝක ටෙස්ට් තරගාවලියේ තත්ත්වය අනුව ඒක වැදගත්.
ප්‍රශ්නය: ගාල්ලේ තණතිල්ල තරමක් වෙනස්. ඔබ වැඩි වේලාවක් ක්‍රීඩා කළා. තණතිල්ල ගැන මොකක්ද අදහස?
පිළිතුර: වෙනදට වඩා තණතිල්ල සෑහෙන්න හොදයි. පන්දුව කැපෙන්‍නේ නෑ. ෆ්ලැට් විකට් එකක්. නමුත් අවසන් දිනයේදී මෙයට වඩා වෙනස් වෙයි. ඒ වාසිය අපිට ගන්න පුළුවන්.