ආරම්භක පිතිකරුවන් වූ දුල්නිත් සිගේරා (68), සහ අවීෂ් සමාෂ් (45) එකතුව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 104 කදී ගොඩනංවන ලද ලකුණු 114 ක සාර්ථක සම්බන්ධතාවය පෙරටුකොට ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වන ලද වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් 2025 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට චාමික හීනටිගලගේ නායකත්වයෙන් යුතු කොළඹ උතුරු කණ්ඩායම අද (30 දා) පස්වරුවේ සමත්විය. අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති අදාළ අවසන් මහ තරගයේදී කොළඹ දකුණු කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කළ කොළඹ උතුරු කණ්ඩායම ශූරතා කුසලානට අමතරව මුදලින් රු. ලක්ෂ 5 ක මුදලකටද හිමිකම් කීවේය.
කාසියේ වාසිය දිනූ කොළඹ උතුරු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් විමත් දින්සරගේ නායකත්වයෙන් යුතු කොළඹ දකුණු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 9 කට ලකුණු 233 ක ඉලක්කයක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දුන්නේය. එම හඹා ගිය කොළඹ උතුරු පිතිකරුවෝ පන්දුවාර 40.5 ක් අවසනදී ඉලක්කය සපුරා ගන්නා ලද්දේ කඩුලු 5 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමිනි.
ජයග්‍රාහී කොළඹ උතුරු කණ්ඩායම වෙනුවෙන් ඉදිරි පෙළින් පන්දුවට පහර දීමට පැමිණි පිතිකරුවන් තිදෙනාම ලකුණු 40 සීමාව ඉක්මවමින් ලකුණු රැස් කළහ. ඔවුන් අතරින් කැපී පෙනුණු ආරම්භක පිතිකරුවා වූ දුල්නිත් සිගේරා හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමගින් පන්දු 60 කදී වේගවත් ලකුණු 68 ක් රැස් කර ගත්තේය. ඔහුට අමතරව අනෙක් ආරම්භක පිතිකරුවා වූ අවීෂ සමාෂ් පන්ද 57 කදී ලකුණු 45 ක්ද අංක 3 සෙනුජ වෙකුණගොඩ පන්දු 51 කදී ලකුණු 41 ක්ද රැස් කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.
පන්දු යැවීමේදී ආරම්භක පන්දු යවන්නා වූ දහම් නිර්මාල් කඩුලු 3 ක් දවා ගැනීමට සමත්වුවද එය ඔවුනගේ පරාජය වළකාලීමට තරම් ප්‍රමාණවත් නොවිණ. තරගයේ ජය කොළඹ උතුරු කණ්ඩායම සතු වද්දී දහම් යවන ලද පන්දුවාර 8.5 කදී ලකුණු 73 ක් උදුරා ගැනීමට එම පිතිකරුවෝ සමත්වී සිටියහ.
36 වැනි පන්දුවාරයේදී වෙකුණගොඩ දැවී යන විට කොළඹ උතුරු ලකුණු පුවරුව කඩුලු 4 කට ලකුණු 208 ක් වශයෙන් සටහන්ව තිබිණ. අනතුරුව පිටියට පිවිසි නායක චාමික හීනටිගල පන්දු 41 කදී ලකුණු 29 ක් තම කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු වන තෙක් පන්දුවට පහර දුන්නේය.
කොළඹ දකුණු කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දුන් සුුවහස් ප්‍රනාන්දු සහ රෙහාන් පීරිස් පළමු කඩුල්ලවෙනුවෙන් පන්දු 135 කදී ලකුණු 91 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. මෙහිදී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සුවහස් ප්‍රනාන්දු, පන්දු 123 කදට මුහුණ දෙමින් හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 80 ක් ලබා ගත්තේය. ඔහුගේ සහායකයා වූ රෙහාන් පීරිස් පන්දු 69 කදී හතරේ පහර 7 ක් ද සමගින් ලකුණු 53 ක් රැස් කළේය.
කෙසේ වෙතත් අනතුරුව පන්දුවට පහර දීමට පැමිණි පිතිකරුවන් අතර හිරුන් මතීෂට (22) හැරුණු කොට සෙසු එකම පිතිකරුවකුට හෝ ලකුණු 20 සීමාව පසුකර යෑමට අවස්ථාව ලබා නොදීමට කොළඹ උතුරු පන්දු යවන්නෝ වග බලා ගත්හ. කොළඹ දකුණු කණ්ඩායමට මීට වඩා ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට අවස්ථාව තිබුණද ඔවුන්ගේ ඉනිමේ දුවද්දී දැවී 3 ක් වාර්තා වීම ඊට හේතු විය. සුවහස් ප්‍රනාන්දු, නායක විමත් දින්සර (18) සහ හිරූෂ ප්‍රනාන්දු (01) එසේ දුවද්දී දැවී ගිය පිතිකරුවෝ වූහ.
පන්දු යැවීමේදී මානස සුභාෂණ සහ පූර්ණ කල්හාර කඩුුලු 2 බැගින් බිඳ හෙළද්දී නායක චාමික හීනටිගල සහ දුනික් පෙරේරා කඩුල්ල බැගින් බිඳ හෙලූහ.
තරගාවලියේ ජය සංඛේත ප්‍රධානය අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති වින්ස්ටන් ජයසිංහ සහ එහි ලේකම් වනෝජ් විජේසිංහ සහ භාණ්ඩාගාරික තුෂාර ප්‍රේමකුමාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මෙහිදී අවසන් මහ තරගයේ වීරයා සම්මානය කොළඹ උතුරු කණ්ඩායමේ දුල්නිත් සිගේරා විසින් දිනාගත් අතර ඔහුට එම කුසලාන සමඟ මුදලින් රු. 50,000 ක මුදලක් පිරිනැමිණ. මීට අමතරව තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස තරග 4 කදී කඩුලු 8 ක් දවා ගත් මහනුවර කණ්ඩායමේ සුමේධ ප්‍රසාද් ද දක්ෂතම පිතිකරුවා ලෙස තරග 4 කදී ලුණු 266 ක් ලබා ගත් මහනුවර කණ්ඩායමේම දිමන්ත මහවිතාරණද සම්මාන දිනා ගත් අතර ඔවුන් දෙදෙනාටම එම කුසලාන සමග මුදලින් රු. 75,000 ක් පිරිනැමිණ.
මීට අමතර තරගාවලියේ වීරයා ලෙසින් පන්දුවෙන් තරග 5 කදී කඩුලු 6 ක් සහ පිත්තෙන් ලකුණු 150 ක් ලබා ගත් කොළඹ උතුරු කණ්ඩායමේ නායක චාමික හීනටිගල නම් කෙරිණ. ඔහුට එම කුසලාන සමග මුදලින් රුපියල් ලක්ෂයක් පිරිනැමිණ.
කොළඹ දකුණ කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 232 යි – (රෙහාන් පීරිස් 53, සුවහස් ප්‍රනාන්දු 80, හිරුන් මතීෂ 22, විමත් දින්සර 18, දිනෙත් පීරිස් 13, ජේසන් ප්‍රනාන්දු 16, දහම් නිර්මාල් 17, පූර්ණ කල්හාර 27/2, මානස මදුභාෂණ 35/1, චාමික හීනටිගල 31/1, දුනික් පෙරේරා 51/1)
කොළඹ උතුරු කණ්ඩායම පන්දුවාර 40.5 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 233 යි – (දුල්නිත් සිගේරා 68, අවීෂ සමාෂ් 45, සෙනුජ වෙකුණගොඩ 41, පූර්ණ කල්හාර 19, චාමික හීනටිගල 29, ඩිනෝෂ් ගමගේ 06*, දහම් නිර්මාල් 73/3
මලින්ත සිල්වා 28/1, දිනෙත් පීරිස් 35/1)