සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. ලකුණු 16කින් ශ්‍රී ලංකාව පරජය වුවද මෙම තරගයේදී ජනිත් ලියනගේ අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිස ලකුණු 78ක් ලබා ගැනීමට සමත් වූවේය. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට මෙම තරගයේදී කිසිඳු දොෂ දර්ශනයක් නොකළ යුතු බවද ජනිත් ලියනගේ සදහන් කළේ තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදීය.
“අපි හැමෝම දන්නවා ආර් ප්‍රේමදාස තණතිල්ලේ දෙවනිවර බැට් කරද්දි පන්දුව පොඩ්ඩක් දඟ කැවෙනවා. පිතිකරුවන්ට අමාරුයි පන්දුවට පහරදීම. නමුත් ඒක නිදහසට කරුණක් කරගත යුතු නෑ. අනිවාර්යෙන්ම ජයග්‍රහණය කළ යුතු මැච් එකක්. පරාජයේ වගකීම අපේ පිතිකරණ අංශය ගත යුතුයි. ඊළඟ තරගය ජයග්‍රහණය කරන්න කටයුතු කරනවා“ ජනිත් ලියනගේ පැවැසීය.
ප්‍රශ්නය: ඔබ හිතන විදිහට තරගය කොතැනින්ද ශ්‍රී ලංකාවට ගිලිහී ගියේ?
පිළිතුර: මම හිතන්නේ අපි හොඳ ආරම්භයක් ගත්තා. හොඳින් ක්‍රීඩා කරමින් හිටියා. පන්දුව දඟ කැවෙන්න ගත්තා. ඔවුන් ඊට පස්සේ ටිකක් හොඳින් තරගයට අවතීර්ණ වුණා. කුසල්ගේ දැවී යෑමත් සමඟ පොඩ්ඩක් පස්සට ගියා. ඒ සමඟ පීඩනය වැඩි වුණා. මං හිතන්නේ එතනින් තමයි බංග්ලාදේශය තරගයට අවතීර්ණ වුණේ.
ප්‍රශ්නය: ජනිත් පළමු තරගයේදී අපේ ඩොට් බෝල් 159ක් තිබුණා. මේ තරගයේදී ඩොට් බෝල් 174ක් තිබුණා. තරගයට කලින් මේ තත්ත්වය පිළිබඳ කතා කළාද?
පිළිතුර: ප්‍රේමදාස තණතිල්ලේ ලේසි නෑ සමහර තැන්වල ක්‍රීඩා කරන්න. අපි අවදානම ගොඩක් අඩු කරලා පන්දුවට පහර දෙන්න සැලසුම වුණේ. නමුත් ඩොට් බෝල් පිළිබඳ අපි කතා වෙනවා ඉස්සරහට කොහොමද ඒක කරන්නේ කියලා මීට වඩා කතා කළ යුතුයි.
ප්‍රශ්නය: බංග්ලාදේශය අවසන් කඩුල්ලට පන්දු 24කදී ලකුණු 30ක් ගන්නවා. ඒ අවස්ථාව පන්දු යවන්නන්ට කොයිතරම් තීරණාත්මකද?
පිළිතුර: අපිට ලකුණු 250ක් හඹාගොස් ලබා ගන්න තිබුණා. අනිවාර්යයෙන්ම අපිට ඒ දේ කරන්න තිබුණා. අපේ පන්දු යවන්නන්ට කිසිඳු වරදක් කියන්න බෑ. ඕනෑම තණතිල්ලක ලකුණු 250ක් ගහන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟ තරගයේදී අපේ පිතිකරණ අංශයෙන් තරගය දිනවන්න බලනවා.
ප්‍රශ්නය: ඔබ සහ දුෂ්මන්ත පන්දුවට පහරදෙද්දී ශ්‍රී ලංකාවට ජයග්‍රහණය පෙනුණා. නමුත් දුෂ්මන්තට ඩොට් බෝල කිහිපයක් වැටුණා. ඉන් පස්සේ ඔබටත් යම් පීඩනයක් එල්ල වුනාද?
පිළිතුර: නෑ මට පීඩනයක් දැනුණේ නෑ. මම දන්නවා දුෂ්මන්තට හොඳින් පහර දෙන්න පුළුවන්. මුෂ්ටෆිෂූර් ඉතා හෙඳ පන්දු යවන්නෙක්. එයාට පහරදීලා අවදානමක් ගන්නේ නැතිව අනෙක් පැත්තෙන් පහර දෙන්න සැලසුම් කළේ. දුෂ්මන්ත අයියා මට හොඳ සහයෝගයක් දුන්නා. එතැනින් පීඩනයක් ආවේ නෑ. මගේ අතපසුවීමකින් දැවී ගියේ. මම හිටියානම් දිනන්න තිබුණා.
ප්‍රශ්නය: පීඩනයක් මැද පීඩනය ඇඟට ගන්නේ නැතිව උපරිම ලකුණු ඔබ ලබා ගත්තා. කොහොමද ඔබේ සැලසුම වුණේ?
පිළිතුර: මේ වගේ තත්ත්වයක් උදා වුණාම මොනවද කළ යුත්තේ කියා පුහුණුකරුවන් සමඟ කතා කළා. මොන වගේ දේවල්ද කරන්න අවශ්‍ය කියලා. ඉතින් ඔවුන් මට කිව්වේ අපේ හොඳම පිතිකරුවන් දැවීගිය වෙලාවක ඉතිරි වෙන්නේ මා නිසා එක පැත්තකින් මා ඉන්න අවශ්‍යයි කියලා. ඒක තමයි මම කළේ.
ප්‍රශ්නය: මෙයට කලින් මාධ්‍ය හමුවකදී චරිත් අසලංක විසින් ඔබව හා දුනිත් වෙල්ලාලගේ තරග නිමා කරන්නන් ලෙස හැදින්වුවා. ඒ භූමිකාව කොයිතරම් බැරෑරුම් කාර්යයක්ද?
පිළිතුර: මම හිතන්නේ කණ්ඩායමක් විදියට අපි ගොඩක් එකමුතුයි. චරිත් හොඳ ක්‍රීඩා සංස්කෘතියක් ගොඬනඟා තියෙනවා. ඒ කියන්නේ ක්‍රීඩකයාට හොඳ විශ්වාසයක් දීලා තියෙනවා. ඒක නිසාම දක්ෂතා අතරට එන්න ලේසි වෙලා තියෙනවා. අද තරගයේ අඩුපාඩු වුණත් ඔහු ළඟට කතා කරලා කියා දෙනවා. කුමක්ද කළ යුත්තේ කියා ලෙහෙසියෙන්ම පැහැදිලි කරනවා. අපිට තියෙන පීඩනය ගොඩක් අඩුයි දැන්. නමුත් අපි අද කරපු අතපසුවීම් ඊළඟ තරගයට ගේන්න හොඳ නෑ.
ප්‍රශ්නය: ඔබට තියෙන්නේ අවසන් පිතිකරුවන් අතරට පැමිණ තරගය දිනවන්න. ඒ කාර්ය සඳහා විශේෂ සූදානමක් පුහුණුවක් තියෙනවාද?
පිළිතුර: අනිවාර්යයෙන්ම අපි පුහුණු වෙද්දී හැම තත්ත්වයකදීම මුහුණ දෙන්නේ කොහොමද කියන එක පිළිබඳ කතා කරනවා. තරගයේ මුලදි, මැදදී හා ඩෙත් ඕවර්ස්වල පහරදීම පිළිබඳ අවධානය යොමු කරනවා. හිටියට වඩා හොඳ ස්ථාවරයකට ඇවිත් ඉන්නවා. නමුත් අද තරගයට වඩා කණ්ඩායමක් විදිහට වගකීමක් ගන්න වෙනවා.
ප්‍රශ්නය: පල්ලේකැලේ පැවැත්වෙන මීළඟ තරගය ඉතාම තීරණාත්මකයි. ඔබ මේ ගැන මොකක්ද හිතන්නේ?
පිළිතුර: බංග්ලාදේශ පන්දු යැවීම ඉතාම හොඳයි. ඔවුන් ඒ තත්ත්වය හොඳින් පාලනය කරනවා. පල්ලේකැලේ තරගය ඉතාම උණුසුම් එකක් වෙයි. ඒ තරගය ජයගෙන තරගාවලිය ජය ගන්න අපේ සැලසුම.