slc
logo
Home   |    News
ජූලි 15, 2025
තීරණාත්මක ගැටුමේදී පීඩනය දෙපිළ මතටම

sinhala editor

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (16 දා) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට අතිශය තීරණාත්මක තරගයකි. දෙපිළම තරගය බැගින් ජය ගෙන සිටින හෙයින් හෙට දිනන කණ්ඩායමට තරගාවලියේ ජයග්‍රහණය හිමිවීම, එකී තීරණාත්මක භාවයට හේතුවී තිබේ.

විස්සයි-20 තරගාවලියට පෙර පැවැති එක්දින තරගාවලියද පැවැතියේ මෙවැනිම පසුබිමකය. පළමු තරගය ජය ශ්‍රී ලංකාව ජය ගැනීමෙන්  පසු දෙවැනි තරගය ජයගත් බංග්ලාදේශය තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට රැගෙන ආවේ තෙවැනි තරගයට අවසන් මහ තරගයක උණුසුම රැගෙන එමිනි. කුසල් මෙන්ඩිස්ගේ ශතකය ප්‍රධාන කොට එම තරගයෙන් ශ්‍රී ලංකාව පහසු ජයක් වාර්තා කළේ තරගාවලියේ ජය ද තමන් සතු කර ගනිමිනි.

අනතුරුව ඇරැඹි පන්දුවාර විස්සයි-20 තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව  පහසු ජයක් ලැබුවද රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී ලද අනපේක්ෂිත පරාජය නිසා, හෙට පැවැත්වෙන තෙවැනි තරගයද අවසන් මහ තරගය හා සමාන උණුසුමක් නිර්මාණය වී තිබේ.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට හෙට කාර්ය බහුල දිනයක් වනු ඇත්තේ මෙම තරගය නැරඹීම වෙනුවෙන් වූ ප්‍රවේශ පත්‍ර සියල්ලම මේ වන විටත් විකිණී අවසන්ව ඇති බැවිනි. හෙට තරගයේ ජය ශ්‍රී ලංකාවට තවත් එක් ද්වී පාර්ශ්වික තරගාවලි ජයකට මාර්ගය විවර වුවත් බංග්ලාදේශයට එය වැදගත් වනුයේ ශ්‍රී ලංකාවේදී ඔවුන් ලබන පළමු ද්වී පාර්ශ්වික තරග මාලා ජයග්‍රහණය බවට පත්වීම හේතුවෙනි.

බංග්ලාදේශය රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී ජයග්‍රහණය වාර්තා කරන ලද්දේ විස්සයි-20 තරග හයකට පසුව වන අතර එහිදී වඩාත්ම සැලකිල්ලට භාජනය විය යුතු කරුණ වන්නේ එම තරග ජයග්‍රහණය තනි දක්ෂතා මත පමණක් රදා නොසිටි කණ්ඩායම් මට්ටමින් වන කාර්යය සාධනය මත ලද ජයග්‍රහණයක් බවට පත්ව තිබීමයි. නම් දරූ ක්‍රීඩකයින් වෙනුවට නවක ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත වන බංග්ලාදේශ කණ්ඩායම, එම තරගයේදී ඔවුන්ගේ හොඳම ප්‍රවේශය සටහන් කර ගැනීමට සමත්වූවේ ශ්‍රී ලංකාවට හෙට තරගය පිළිබඳව දෙවතාවක් නොව කිහිප වතාවක්ම තම කණ්ඩායම පිළිබඳව කල්පනා කිරීමට ඉඩ සලස්වමිනි.

මේ පිළිබඳව අද (15 දා) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන සනත් ජයසූරිය මහතා සඳහන් කර සිටියේ පීඩනයට ලක්වීම නම් තමන්ට අකමැතිම දෙයක් බවයි.

“හැමදාම පීඩයට ලක් වෙන්න නම් මම කැමැතිම නෑ. මේ තත්ත්වය ඕනෑවටත් වැඩියි. මම විතරක් නොවෙයි. කවුරුවත් ඒකට කැමැති නෑ. කොහොම වුණත් මෙය අභියෝගයක්. මම සලකන්නේ ඒක මේ ක්‍රීඩාවේම කොටසක් විදියටයි“ යන්නයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ප්‍රධාන පුහුණුකරු “මේක අවසන් තරගය. කණ්ඩායම් දෙකම 1-1 ක් ලෙස රැඳී ඉන්නේ. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩා ලෝලීන්ට ඕන, අපි හොඳින්ම ක්‍රීඩා කරන එක. ඒ වගේමයි ක්‍රීඩකයිනුත්. ඔවුන්ටත් ඕන තරගය හොඳින් කරන්න. ඒ අනුව හෙට අපි තුන් ඉරියව්වෙන්ම අපේ උපරිමය කරන්න බලාපොරොත්තු වෙනවා“ යැයි වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

“අපේ කණ්ඩායමෙන් මම බලාපොරොත්තු වෙන්නේ අපේ පිතිකරුවන් හොඳින් පන්දුවට පහර දෙන එක ගැන. ඒක තමයි හෙට තරගයේදී ප්‍රධානම තුරුම්පුව. අපේ ඉදිරියෙන්ම පන්දුවට පහර දෙන පිතිකරුවන් තුන් දෙනා හෝ හතර දෙනාගෙන් කෙනෙක් ගොඩක් වෙලා පන්දුවට පහර දිය යුතුයි. ඒ ලකුණු අතර ඉන්න කෙනා අතරේ අනිත් එය එකතු වෙලා ලකුණු ලබාගත යුතුයි“ යැයි ජයසූරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මෙතෙක් පැවැති තරග 2 දී අංක 4 පිතිකරු ස්ථානයේ ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු අතරට පැමිණීමට අසමත්වීම බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙන කරුණක් බවට පත්ව තිබේ. කෙසේ වෙතත් ප්‍රධාන පුහුණුකරු අදහස් දක්වන ලද ආකාරය අනුව හෙට දිනයේදී එම ස්ථානය පළ පුරුදු ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්ට අනුමාන කළ හැක.

“අවිශ්කට හොඳ දක්ෂතාවයක් තියෙනවා. හැබැයි මැදට ඇවිල්ලා ඒක පෙන්නන්න ඕන. උණේ නැත්නම් එතන පොඩි ප්‍රශ්නාර්ථයක් තියෙනවා. අපි ඒකට බලන්න ඕන එයාට මොනවද කරන්න ඕනෙ කියන එක“ යැයි අවිශ්ක පිළිබඳව ජයසූරිය සඳහන් කර සිටියේය.

ඉදිරි පෙළ පිතිකරුවන් සිවු දෙනාගෙන් ඕනෑම අයෙකු සඳහා ආදේශක පිතිකරුවකු ලෙසින් දිනේෂ් චන්දිමාල් සංචිතයට එක්ව සිටියි. ඕනෑම ස්ථානයක පන්දුවට පහර දීමට හැකි පිතිකරුවකු ලෙස සිය දක්ෂතාවයන් පෙන්වා තිබෙන චන්දිමාල් හෙට තරගයට ක්‍රීඩා කළහොත් ඔහු විස්සයි-20 තරගයකට ක්‍රීඩා කරනු ලබන්නේ වසර 3 ක කාලයකින් පසුව වීම විශේෂත්වයක් වේ.

“දිනේෂ් චන්දිමාල් වගේ ක්‍රීඩකයෙකුට ඕනෑම තැනක ඇවිල්ලා ක්‍රීඩා කරන්න පුලුවන් ක්‍රීඩකයෙක්. එයාට ගොඩක් අත්දැකීම් තියෙන ක්‍රීඩකයෙක්. ඉතිං මං හිතනවා අපේ කණ්ඩායමට අවශ්‍ය වෙලාවේ හැම වේලේම කණ්ඩායම වෙනුවෙන් කරපු ක්‍රීඩකයෙක්. එක ටෙස්ට් තරගාවලියකදී අපි එයාට නොම්බර 3 ස්ථානයෙන් ක්‍රීඩා කරන්න කිව්වා. එයා ඒක කළා. අපි ඒක දන්නවා. ඉතිං හෙට තරගයේදීත් එයාට අපි කිව්වොත් තැනක්, ඔයා මෙතැන ක්‍රීඩා කරන්න කියලා එයා ඒ විශ්වාසය තියලා අපිත් එක්ක වැඩ කරනවා. ඒ වගේ ක්‍රීඩකයෙක් කණ්ඩායමට ඉන්න එක ලොකු දෙයක්. කාලයක් තිස්සේ විස්සයි-20 කණ්ඩායමේ හිටියාට එයාට අවස්ථාවක් ලැබුණේ නෑ. මං හිතනවා එයාට හෙට හොඳ අවස්ථාවක් තියෙයි“ යැයි චන්දිමාල් චන්දිමාල්ගේ සහභාගිත්වය පිළිබඳව ජයසූරිය ඉඟියක් ලබා දුන්නේය.

ඒ හැරුණු කොට බොහෝ විට චාමික කරුණාරත්න ටද හෙට තරගයේදී සිය ස්ථානය අහිමිවීමේ වැඩි ඉඩක් නිර්මාණය වී ඇත්තේ ක්‍රීඩා කරන ලද තරග දෙකේදීම ඔහුගෙන් බලාපොරොත්තු වූ සේවය කණ්ඩායමට ලබාදීමට අපොහොසත්වීම හේතුවෙනි. මෙහිදී බොහෝ විට එම ස්ථානය කමිඳු මෙන්ඩිස්ගෙන් පුරවා ගැනීමට කණ්ඩායම් කලමනාකාරීත්වය තීරණය කළහොත් එය පුදුමයට කරුණක් නොවන්නකි. දෑතින්ම පන්දු යැවීමේ හැකියාව මෙන්ම පිතිකරුවකු ලෙස විශ්වාසය දිනා ගනිමින් ක්‍රීඩා කිරීමට කමිඳු සතු හැකියාව හෙට දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගැනීමට බලාපොරොත්තු තබා ඇති සේයාවකි.

“කමිඳු වගේ එක්කෙනෙක් ආවොත් මේ විකට් එකේ හැටියට එයාටත් බෝල් කරන්න පුලුවන්. එතකොට මං හිතනවා අපේ බැටිං ලයින් අප් එක ශක්තිමත් වෙලා හොඳ ආරක්ෂිත පිතිකරු ලැයිස්තුවක් හදාගන්න පුලුවන් වෙයි කියලා මං හිතනවා“ යැයි ප්‍රධාන පුහුණුකරු සඳහන් කර සිටියේය.

ප්‍රේමදාස තණතීරුව යනු හඹා යෑම අතිශය අසීරු කටයුත්තකි. එබැවින් කාසියේ වාසිය හෙට දිනයේදී වඩාත්ම තීරණාත්මක සාධකයක් වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම – චරිත් අසලංක (නායක), දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කුසල් පෙරේරා, චාමික කරුණාරත්න, කමිදු මෙන්ඩිස්, දසුන් ශානක, බිනුර ප්‍රනාන්දු, එෂාන් මාලිංග, මතීෂ පතිරණ, මහීෂ් තීක්ෂණ, නුවන් තුෂාර, ජෙෆ්රි වැන්ඩර්සි, දුනිත් වෙල්ලාලගේ, 

බංග්ලාදේශ කණ්ඩායම – ලිටන් දාස් (නායක), ජැකර් අලී, මොහොමඩ් නයිම්, පර්වේස් හෝසේන් එමෝන්, ටැන්සිඩ් හසන්, තව්හිඩ් රිඩෝයි, මෙහෙදි හසන් මිරාස්, මෙහෙදි හසන්, මොහොමඩ් සයිෆුඩීන්, නසුම් අහමඩ්, රිෂාඩ් හොසේන්, ශමීම් හොසේන්, ටැන්සිම් හසන් සකීබ්, මුස්ටෆිසුර් රෙහ්මාන්, ෂොරිෆුල් ඉස්ලාම්, ටස්කින් අහමඩ්.

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee