slc
logo
Home   |    News
ජූලි 8, 2025
ලකුණු 99 ක විශිෂ්ඨ ජයක් සමගින් ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනියි

sinhala editor

කුසල් මෙන්ඩිස්ගේ වටිනා ශතකයත් වේග පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දුගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 99 ක පහසු ජයක් අද (08 දා) රාත්‍රියේ අත්කරගත්හ. මේ සමඟම දෙරට අතර තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ.

ඒ අනුව නිමාවට පත් වුණු 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ශ්‍රී ලංකාව සහභාගිවුණු එක්දින තරගාවලි 9 න් ජය ගත් 7 වැනි තරගාවලිය ලෙසින් අද නිමාවට පත්වුණු එක්දින තරගාවලිය ඉතිහාසයට එක් වනු ඇත. ශ්‍රී ලංකාව මේ දක්වා පරාජයට පත්ව ඇත්තේ නවසීලන්තයට සහ බංග්ලාදේශයට එරෙහිව ඔවුන්ගේ නිජබිමයන්හි පැවැති තරගාවලි ද්විත්වය වේ. මෙම තරග ජයත් සමඟ 1986 වසර දක්වා දිවෙන දෙරට අතර එක්දින තරග ඉතිහාසයේ, වසර 39 ක් පුරා තිබෙන අපරාජිත තරගාවලි වාර්තාව ද තවදුරටත් ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 289 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට  පන්දුවාර 39 කුත් පන්දු 4 ක් අවසනදී රැස් කර ගත හැකි වූයේ ලකුණු 186 ක් පමණි. බංග්ලාදේශය අඩු ලකුණු ගණනකට සීමා කරවීම වෙනුවෙන් අති විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වුණු දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දු ප්‍රතිවාදීන්ගේ දැවී ගිය කඩුලු 10 න් 6 කටම හිමිකම් කීය. වේග පන්දු යවන්නන් විසින්  පීඩනය වැඩි කරමින් පන්දු යැවීම නිසා දඟ පන්දු යවන්නන්ටද ඔවුන්ගේ කාර්යය භාරය සිදු කිරීමට එය පහසුවක් විය.

බංග්ලාදේශය වෙනුවෙන් තනි සටනක් දුන් තව්හිඩ් රිඩෝයි පමණක් අර්ධ ශතකයක් (51) රැස් කර ගත්තේය. එහිදී එමෝන් සමඟ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 42 ක් සහ මෙහෙදි හසන් සමග සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 43 ක්  ද රිඩෝයි රැස් කලා විනා බංග්ලාදේශ ඉනිමෙන් වෙන ගත හැකි කිසිවක් නොවීය.

කුසල් මෙන්ඩිස්ගේ 6 වැනි ශතකයත් චරිත් අසලංකගේ 16 වැනි අර්ධ ශතකයත් හේතුවෙන් ශ්‍රී ලංකා පිතිකරුවෝ නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 7 ක් දැවී ලකුණු 286 ක ඉලක්යක් බංග්ලාදේශ කණ්ඩායම හමුවේ ලබා දුන්හ.

දුර්වල පන්දු දුටු තැන ඊට නිසි දඬුවම් ලබා දුන් දකුණත් සහ වමත් පිතිකරුවන් දෙදෙනා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 117 කදී ලකුණු 124 ක් ගොඩනැංවූහ. අසලංකගේ පනස් වැනි ලකුණත් කුසල් මෙන්ඩිස්ගේ 100 වැනි ලකුණත් පන්දු 3 ක් ඇතුළතදී සපුරා ගත්තේ බංග්ලාදේශ කණ්ඩායමට උන් හිටි තැන් අමතක කර දමමිනි.

දෙවැනි තරගයේදී පන්දු 20 කින් අර්ධ ශතකය ලබා ගත් කුසල් මෙන්ඩිස් අද දිනයේදීද මුහුණ දුන් පළමු පන්දුවට හතරේ පහරක් එල්ල කරමින් සිය ලකුණු ලබා ගැනීම ආරම්භ කළේය. ඩ්‍රයිව්, පුල්, ස්වීප්, ස්ලොග් ස්වීප් සහ පැඩ්ල් ස්වීප් පහර වලින් ලකුණු රැස් කළ කුසල් මෙන්ඩිස් පන්දු 58 කින් අර්ධ ශතකය සපුරා ගත්තේය. එහෙත් වැඩි කලබලයක් නොපෙන්වූ මෙන්ඩිස් නායක මෙහෙදි හසන් මිරාස්ගේ පන්දුවක් මිඩ් ඕන් කළාපයට තල්ලු කර දමමින් තම ශතකය සම්පූර්ණ කළේය. ලකුණු 100 සීමාව පසු කළද අලුතින් පන්දුවට පහර දෙන පිතිකරුවකු ලෙස පන්දුවට පහර දුන් මෙන්ඩිස්, තම ඉනිම හතරේ පහර 18 කින් වර්ණවත් කර ගත්තේය.

ටස්කින් අහමඩ්ගේ පන්දුවකට චරිත් අසලංක දැවී යෑමත් සමග එම වටිනා කඩුල්ලේ සම්බන්ධතාවය නිමාවට පත්විය. දැවී යන විටත් තම පරිණත පිතිහරඹය විදහා පෑ නායක අසලංක පන්දු 68 කදී ලකුණු 58 ක් ලබාගෙන තිබූණේය. ඒ ඊට හතරේ පහර 9 ක්ද ඇතුළත් කර ගනිමිනි.

මොවුන් දෙදෙනා කඩුල්ලේ රැදී සිටියදී ශ්‍රී ලංකා ඉනිමේ 40 වැනි පන්දුවාරය අවසන් වන විට ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 3 කට ලකුණු 222 ක් ලෙසිනි. එහිදී ඔවුනට පහසුවෙන්ම ලකුණු 300 සීමාව පැන්නීමට අවස්ථාව තිබුණේ කණ්ඩායම සතු පරිණතම පිතිකරුවන් දෙදෙනා වන චරිත් සහ මෙන්ඩිස් කඩුල්ලේ රැදී සිටි බැවිනි. කෙසේ වෙතත් ටස්කින් අහමඩ් සහ මෙහෙදි හසන් මිරාස් පැමිණ මොවුන් දෙදෙනාගේ කඩුලු දවා ගැනීමට සමත්වම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම එතෙක් පවත්වාගෙන ආ දල ලකුණු වේගයට දැඩි බලපෑමක් එල්ල කරනු ලැබීය. තවදුරටත් ඉන් වාසි ලබාගත් බංග්ලාදේශ පන්දු යවන්නෝ අවසන් පන්දු වාර 10 ඇතුළතදී ලබා දී තිබුණේ ලකුණු 63 ක් පමණක් වන අතර ඒ අතරතුර කාලයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් විසින් එල්ල කර තිබුණේද හතරේ පහර 5 ක් පමණක් විය.

මුහුණ දුන් 60 වැනි පන්දුවට ලකුණක් කරා පැති මාරු කර ගනිමින් චරිත් අර්ධ ශතකය සම්පූර්ණ කර ගැනීමත් සමග එම සිව්වැනි කඩුල්ලේ ලකුණු 100 මෙන්ම ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 200 සනිටුහන්වීමද කැපී පෙනිණ.

ශ්‍රී ලංකාව පන්දුවාර 50 කදී කඩුලු 7 ට ලකුණු 285 යි – (කුසල් මෙන්ඩිස් 124, පැතුම් නිස්සංක 35, නිශාන් මදුෂ්ක 01, කමිදු මෙන්ඩිස් 16, චරිත් අසලංක 58, ජනිත් ලියනගේ 12, දුනිත් වෙල්ලාලගේ 06, වනිඳු හසරංග 18*, දුෂ්මන්ත චමීර 10*, ටස්කින් අහමඩ් 51/2, මෙහෙදි හසන් මිරාස් 48/2, ටන්සිම් සකීබ් 41/1, ටන්වීර් ඉස්ලාම් 61/1, ශමීම් හොසනේ 30/1)

බංග්ලාදේශය පන්දුවාර 39.4 කදී සියලු දෙනා දැවී ලකුණු 186 යි – (තව්හිඩ් රිඩෝයි 51, ටැන්සිඩ් හසන් 17, හොසේන් එමෝන් 28, නජ්මුල් හොසේන් ෂැන්ටෝ, මෙහෙදි හසන් මිරාස් 28, ශමීම් හොසේන් 12, ජැකර් අලී 27, ටැන්සිම් හසන් සකීබ් 05, ටස්කින් අහමඩ් 01, ටන්වී ඉස්ලාම් 08, මුස්ටෆිසූර් රෙහ්මාන් 00*, අසිත ප්‍රනාන්දු 33/3, දුෂ්මන්ත චමීර 51/3, දුනිත් වෙල්ලාලගේ 35/2, වනිඳු හසරංග 35/2)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

USD United States (US) dollar