slc
logo
Home   |    News
ජූලි 16, 2025
විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට

sinhala editor

පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු තෙවැනි සහ අවසන් විස්සයි-20 තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. මෙම ජයත් සමග බංග්ලාදේශ ක්‍රිකට් තරග ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකාවේදී තරගාවලි ජයක් ලැබූ පළමු අවස්ථාව ලෙසින් මෙම තරගාවලිය ඉතිහාස ගතවිය.

තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලිය ආරම්භ කරමින් පල්ලේකැලේ පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පහසු ජයක් වාර්තා කළද දඹුල්ලේ පැවැති තරගය ජය ගනිමින් තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට රැගෙන ඒමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වූයෙන් තරගාවලියේ ජය ලැබීමට අද පැවැති තරගය දෙපිළටම තීරණාත්මක විය.

බංග්ලාදේශ කණ්ඩායමේ හඹා යෑමේ ආරම්භය එතරම්ම දීප්ති නොවූයේ ආරම්භක පිතිකරුවා වූ පර්වේස් හොසේන්ව ඉනිමේ පළමු පන්දුවෙන්ම දවා ගැනීමට නුවන් තුෂාර සමත්වීම හේතුවෙනි. එහෙත් දෙවැනි කඩුල්ලට එක් වුණු ටැන්සිඩ් හසන් සහ නායක ලිටන් දාස් ශ්‍රී ලංකාව පරාජය කිරීමට අවශ්‍ය ශක්තිමත් අඩිතාලම එක් කළේ පන්දු 50 කදී ලකුණු 74 ක සම්බන්ධතාවක් එක් කරමිනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සතු අත්දැකීම්වලට වඩා බොහෝ පහළින් සිටින බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් මොවුන් දෙදෙනා ආදර්ශමත් හඹා යෑමක නිරත වූහ.

මේ අතරින් කැපී පෙනුණු ටැන්සිඩ් හසන් පන්දු 47 කදී ලකුණු 73 ක් රැස් කරන ලද්දේ තම ඉනිම නොබිඳිව තබා ගනිමිනි. ශ්‍රී ලංකා ඉනිමේ වාර්තා වුණු සමස්ථ හයේ පහර සංඛ්‍යාව (3)ට වඩා දෙගුණයක් හෙවත් හයේ පහර 6 ක් තම ඉනිම වෙනුවෙන් සරසාගත් වමත් ආරම්භක කසකරුවා ඊට අමතරව හතරේ පහරක්ද තම ඉනිමට ඇතුළත් කර ගත්තේය. මෙය ඔහුගේ විස්සයි-20 තරග දිවියෝ හොඳම පිතිකරණ දක්ෂතාව ලෙසින් ඉදිරියට ආවේය.

කමිදු මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ ලකුණු 32 ක් ලබා සිටි ලිටන් දාස් දැව් ගියද හසන්ට එක් වූ තව්හිඩ් රිඩෝයි බංග්ලාදේශ කණ්ඩායම ජය කණුව වෙත රැගෙන ගියේ පන්දු 21 ක් ලකුණු  පුවරුවේ ඉතිරිව තිබියදීය. මෙහිදී රිඩෝයි පන්දු 25 කදී නොදැවී ලකුණු 27 ක් රැස් කර ගත්තේය. ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලේ නොබිඳුණු සම්බන්ධතාවය පන්දු 48 කදී ලකුනු 58 ක් විය.

කාසියේ වාසියත් සමග පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉදිරි පෙළ පිතිකරුවන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් කෝඩු කාර මෙහෙදි හසන් තම පන්දුවාර 4 ලකුණු 11 කදී නවතා ගන්නා ලද්දේ නිලකුණු පන්දුවාරයක්ද සහිතව කඩුලු 4 ක් දවා ගනිමිනි. බංග්ලාදේශ පිලේ එක්දින නායකයා ලෙසින් කටයුතු කරන මෙහෙදි හසන් මිරාස්ගේ ස්ථානය වෙනුවෙන් ආදේශ කෙරුනු කෝඩුකාර මෙහෙදි හසන්ගේ පන්දුවාර 4 අවසන් වන විට ශ්‍රී ලංකා ඉදිරි පෙළ කඩුලු 5 ක් ලකුණු 68 කට දැවී ගොස් තිබිණ.

පළමුව කුසල් පෙරේරාව පළමු පන්දුවෙන්ම දවා ගත් දකුණත් කුඩා පන්දු යවන්නා අනතුරුව වසර 3 කට පසු විස්සයි-20 තරග බිමට පිවිසි දිනේෂ් චන්දිමාල්ගේ කඩුල්ල දවා ගත්තේය. අවිශ්ක ප්‍රනාන්දු ක්‍රීඩා කරන ලද අංක 4 ස්ථානය වෙනුවෙන් ආදේශ කෙරුණු චන්දිමාල් මුහුණ දුන් පන්දු 5 න් දැවී යෑමට පෙර ලබා දුන් උඩ පන්දුවට පෙර තවත් උඩ පන්දු දෙකක්ම ලබා දුන් නමුත් එය බංග්ලාදේශ පන්දු රකින්නන් අතින් ගිලිහිණ. කෙසේ වෙතත් හසන් හමුවේ එල්ල කරන ලද ස්ලොග් පහර වැරදී යෑඹ නිසා චන්දිමාල් ලකුණු 04 කට පිටියෙන් ඉවත්විය.

හසන්ගේ ඊළඟ ගොදුර වූයේ නායක චරිත් අසලංකය. ඉනිමේ දක්නට ලැබුණු හොදම පන්දුව ලෙසින් අවිවාදිත එම පන්දුව චරිත්ගේ පිට ඉන්න සොයා ගිය අතර පැතුම් නිස්සංක ඔහුගේ සිව්වැනි ගොදුර ලෙසින් 11 වැනි පන්දුවාරයේ දැවී ගියේය. මෙම දක්ෂතාව ප්‍රධාන කොට තරගයේ වීරයා සම්මානයෙන්ද හේ පිදුම් ලැබුවේය.

ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක (46), කමිඳු මෙන්ඩිස් (21) සහ දසුන් ශානක (35*) හැරුණු කොට ගෙන සෙසු එකම පිතිකරුවකුට හෝ ලකුණු 10 සීමාව ඉක්මවාලීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ ඉඩ නොතැබූහ. මුළුමනින්ම ශ්‍රී ලංකා පිතිකරු බල ඇණිහේ කොඳු නාරටිය බිඳ දැමූ ප්‍රතිවාදී පන්දු යවන්නෝ 19 වැනි පන්දුවාරය වන විටත් සත්කාරකයින්ගේ ලකුණු පුවරුව කඩුලු 7 කට ලකුනු 110 ක් ලෙසින් පාලනය කිරීමට සමත්වූහ. අවසන් පන්දුවාරයේදී දසුන් හානක රැස් කරන ලද ලකුණු 22 ට පිංසිදුවන්නට ශ්‍රී ලංකාවට ලකුණු 132 ක් දක්වා තම ලකුණු සංඛ්‍යාව දිග හැර ගැනීමට අවස්ථාව උදාවිය. තරගාවලියේ වීරයා ලෙසින් බංග්ලාදේශ නායක ලිටන් දාස් සම්මාන දිනාගත්තේය.

ශ්‍රී ලංකාව පන්දුවාර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 132 යි – (පැතුම් නිස්සංක 46, කුසල් මෙන්ඩිස් 06, කුසල් පෙරේරා 00, දිනේෂ් චන්දිමාල් 04, චරිත් අසලංක 03, කමිඳු මෙන්ඩිස් 21, දසුන් ශානක 35*, ජෙෆ්රි වැන්ඩර්සේ 07, මහීෂ් තීක්ෂණ 06, මෙහෙදි හසන් 11/4, සොරිෆුල් ඉස්ලාම් 50/1, මුස්ටෆිසූර් රෙහ්මාන් 17/1, ශමීම් හොසේන් 10/1)

බංග්ලාදේශ ප්දුවාර 16.3 කදී කඩුලු 2 ට ලකුණු 133 යි – (ටැනිසිඩ් හසන් 73*, ලිටන් දාස් 32, තව්හිඩ් රිඩෝයි 27*, පර්වේස් හොසේන් 00, නුවන් තුෂාර 25/1, කමිඳු මෙන්ඩිස් 21/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee