slc
logo
Home   |    News
අගෝස්තු 10, 2025
කමිඳුගේ ග්‍රීන්ස් දෙවැනි ජයත් ලබයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා විස්සයි-20 ක්‍රිකට් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (10 දා) පැවැති තරගයේදී ග්‍රේස් කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කළ ග්‍රීන්ස් කණ්ඩායම පිට පිටම දෙවැනි ජයග්‍රහණය වාර්තා කර ගැනීමට සමත්විය. කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු ග්‍රීන්ස් කණ්ඩායම අද දිනයේ ලද ජයත් සමඟ තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා වැඩි ඉඩ කඩක්ද වෙන් කර ගත්තේය.

කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගාවලියේදී පළමුව පන්දුවට පහර දුන් චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු ග්‍රේස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 6 ක් දැවී ලකුණු 163 ක් ලබා ගැනීමට සමත්වූවේය.

ඒ වෙනුවෙන් පෙරමුණ ගත් ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පන්දු 37 කදී හතරේ පහර 6 ක් ද සමගින් ලකුණු 52 ක් ලබා ගත්තේය. ග්‍රේස් කණ්ඩායම වෙනුවෙන් දික්වැල්ලට අමතරව ඉලක්කම් දෙකේ ලකුණු ලබා ගත් පිතිකරුවන් 5 දෙනෙකු සිටියද ඉන් ලකුණු 20 සීමාව ඉක්මවා යෑමට සමත්වූයේ පෙර තරගයේ ජයග්‍රහණයේ නියමුවා ව නුවනිඳු ප්‍රනාන්දු (22) පමණි.

පන්දු යැවීමේදී යළිත් සාර්ථක වුණු නායක කමිඳු මෙන්ඩිස් සිය පන්දුවාර 4 දී ලකුණු 14 ක් පමණක් ලබා දී කඩුලු 2 ක් බිඳ හෙළද්දී නුවන් තුෂාර ද කඩුලු 2 ක් බිඳ හෙළුවේය. එහෙත් ඔහුගේ පන්දුවාර 4 දී පන්දුවාරයකට ලකුණු 10 කට වඩා වැඩි වේගයක් රඳවා ගනිමින් ලකුණු 42 ක් රැස් කර ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත්වූහ.

ඉලක්කය හඹා යෑම සඳහා පිටියට පිවිසි ග්‍රීන්ස් කණඩායම වෙනුවෙන් ඉනිම ආරම්භයේදීම ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 05 කට දැවී ගියද දෙවැනි කඩුල්ලට එක් වුණු කමිල් මිශාර සහ භානුක රාජපක්ෂ ලකුණු 58 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග්‍රහණයට අවශ්‍ය ප්‍රධාන අඩිතාලම එක් කළහ. මොවුන් දෙදනො වැය කරන ලද්දේ පන්දු 23 ක් පමණි.

මෙහිදී වේගවත් පිතිහරඹයක නිරත වුණු වමත් ආරම්භක පිතිකරු කමිල් මිශාර හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් ද සමගින් පන්දු 34 කදී ලකුණු 52 ක් රැස් කළේය. ඔහුට නොදෙවැනි වූ භානුක පන්දු 20 කදී ලකුණු 38 ක් රැස් කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් ද වාර්තා කර මිනි.

ඊට අමතරව මැද පෙලින් පැමිණි සධීර සමරවික්‍රම පන්දු 23 කදී ලකුණු 36 ක් ලබා ගත්තේ හතරේ පහර 3 ක්ද තම ඉනිටමට ඇතුළත් කරගනිමිනි. මෙම සමස්ථ ලකුණු හඹා යෑමේදී ග්‍රීන්ස් කණ්ඩායම සෑම පන්දු වාරයකදීම ලකුණු 10 කට වඩා වැඩි ලකුණු වේගයක් රඳවා ගෙන පන්දුවට පහර දීමට සමත්වීම කැපී පෙනිණ. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් කඩුලු 5 ක් දැවී ඉලක්කය සපුරා ගත්තේ පන්දු 20 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තබා ගනිමිනි.

ග්‍රේස් කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 163 යි – (නිරෝෂන් දික්වැල්ල 52, දිනේෂ් චන්දිමාල් 14, ළහිරු උදාර 18, නුවනිඳු ප්‍රනාන්දු 22, චරිත් අසලංක 13, චමිදු වික්‍රමසිංහ 14, රමේෂ් මෙන්ඩිස් 0*9, විජයකාන්ත් වියස්කාන්ත් 08*, කමිඳු මෙන්ඩිස් 14/2, නුවන් තුෂාර 42/2, ට්‍රෙවීන් මැතිව් 26/1)

ග්‍රීන්ස් කණ්ඩායම පන්දුවාර 16.1 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 165 යි – (කමිල් මිශාර 52, ලසිත් කෘෘස්පුල්ලේ 05, භානුක රාජපක්ෂ 38, සදීර සමරවික්‍රම 36, පවන් රත්නායක 17, කමිඳු මෙන්ඩිස් 02, චාමික කරුණාරත්න 07, විජයකාන්ත් වියස්කාන්ත් 24/2, චරිත් අසලංක 19/1, බිනුර ප්‍රනාන්දු 17/1, මහීෂ් තීක්ෂණ 39/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar