slc
logo
Home   |    News
අගෝස්තු 17, 2025
කමිඳුගේ ‘ග්‍රීන්ස්‘ පිල විස්සයි20 ශූරතාව දිනා ගනියි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ලීග් තරග වටයේ අවසනයේ ඉදිරියෙන්ම සිටි චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ‘ග්‍රේස්‘ සහ කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් පිටියට පිවිසි ‘ග්‍රීන්ස්‘ අතර අද පැවැති අවසන් තරගයෙන් ලකුණු 23ක ජයක් ග්‍රීන්ස් පිලට හිමි වූවේය. 

කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ‘ග්‍රීන්ස්‘පිල මෙම තරගාවලියේ සියලු තරග ජයගෙන අපරාජිත කණ්ඩායම බවට පත්වෙමින් ශූරතාව දිනා ගැනීම වි‍ශේෂත්වයකි.

කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණ‍යේ (එස්එස්සී) පැවැති මෙම අවසන් තරගයේ කාසියේ වාසිය දිනාගත් ග්‍රේස්‘ පිල මුලින් පන්දුවට පහරදීමට ‘ග්‍රීන්ස්‘ පිලට අවස්ථාව දුන් හෙයින් ඔවුහූ කඩුලු 4ක් දැවී ලකුණු 189ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ‘ග්‍රේස්‘ පිල කඩුලු 8ක් දැවී ලකුණු 166ක් ලබා ගත්තේය.

පන්දු 47කදී හයේ පහර 5ක් හා හතරේ පහර 5ක් සමඟ ලකුණු 77ක් ලබාගත් කුසල් මෙන්ඩිස් අවසන් තරගයේ වීරයා සම්මානය දිනාගත් අතර, තරග 5කදී ලකුණු 95ක් රැස්කළ එමෙන්ම පන්දු යැවීමේදී කඩුලු 8ක් දවාගත් චාමික කරුණාරත්න තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේය.

මුලින් පන්දුවට පහරදුන් ග්‍රීන්ස්‘ පිලේ පළමු කඩුල්ල ලෙස කමිල් මිෂාර ලකුණු බින්දුවේදී දැවීගිය අතර, කුසල් මෙන්ඩිස්ට එක්වූ අංක තුන පිතිකරු භානුක රාජපක්ෂ දෙවැනි කඩුල්ලට පන්දු 41කදී ලකුණු 56ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වූහ. භානුක රාජපක්ෂ ලකුණු 18කට දැවීගිය පසු කුසල් හා එක්වූ සදීර සමරවික්‍රම  තෙවැනි කඩුල්ලට පන්දු 33කදී ලකුණු 55ක සබඳතාවක් ගොඩනැගූමෙන් ඉනිමට ජීවයක් ලැබුණි.

සදීර සමරවික්‍රම හා නායක කමිඳු මෙන්ඩිස් 5 වැනි කඩුල්ලට පන්දු 41කදී ලකුණු 77ක නොබිඳුණු සබඳතාවක් ගොඩනැගීමෙන් ලකුණු පුවරුව තවත් ඉහළ ගියේය. ඉනිම නිමාවෙද්දී සදීර සමරවික්‍රම පන්දු 29කදී හතරේ පහර 7ක් සමඟ නොදැවී ලකුණු 49ක් හා කමිඳු මෙන්ඩිස් පන්දු 23කදී හයේ පහරක් හා හතරේ පහර 6ක් සමඟ නොදැවී ලකුණු 42ක් ලබා සිටියහ.

‘ග්‍රේස්‘ පිල වෙනුවෙන් අනගි පිතිකරණයක නිරතවූ නිරෝෂන් දික්වැල්ල පන්දු 28කදී හයේ පහර 3ක් හා හතරේ පහර 5ක් සමඟ ලකුණු  50ක් ලබාගත් අතර, ඔහු හා දිනේෂ් චන්දිමාල් අතර පළමු කඩුල්ලට පන්දු 37කදී ලකුණු 70ක් ගොඩනැගුණි. චන්දිමාල් ලකුණු 36කට දැවී යෑමත් සමඟ ලකුණු 25ක් තුල දික්වැල්ල හා ළහිරු උදාර දැවී ගියහ. අනතුරුව 5 වැනි කඩුල්ලට පන්දු 24කදී ලකුණු 28ක් ගොඩනැගීමට නායක චරිත් අසලංක හා රමේෂ් මෙන්ඩිස් සමත් වූ අතර, වෙනත් යහපත් සබඳතාවක් ‘ග්‍රේස්‘ පිලට අයත් නොවුණි. 

අබාධ තත්ත්වයක් හේතුවෙන් කුසල් මෙන්ඩිස් පන්දු රැකීමට පිටියට පිවිසියේ නැත. ඒ වෙනුවට ඕවර් 10ක් පමණ කඩුලු රැකීමේ නිරතවූ කමීල් මිෂාර අනතුරුව පන්දු යැවීමෙන් ප්‍රතිවාදීන්ට තර්ජනයක් ගෙන දෙමින් ලකුණු 14කට කඩුල්ලක් දවාගත් අතර, චාමික කරුණාරත්න ලකුණු 24කට කඩුලු 3ක් දවා ගත්තේය. දුෂ්මන්ත චමීර හා කමිඳු මෙන්ඩිස් අතර කඩුලු 2 බැගින් බෙදී ගියහ.

‘ග්‍රීන්ස්‘ පිල කඩුලු 4කට ලකුණු 189  (ඕවර් 20)

කුසල් ‍මෙන්ඩිස් 77, කමීල් මිෂාර 0, භානුක රාජපක්ෂ 18, සදීර සමරවික්‍රම නොදැවී 49, පවන් රත්නායක 1, කමිඳු මෙන්ඩිස් නොදැවී 42, අතිරේක 2 (විජේකාන්ත් වියෙස්කාන්ත් 45/2, ර‍මේෂ් මෙන්ඩිස් 18/1)

‘ග්‍රේස්‘ පිල කඩුලු 8ක් දැවී ලකුණු 166 (ඕවර් 20)

දිනේෂ් චන්දිමාල් 36, නිරෝෂන් දික්වැල්ල 50, ළහිරු උදාර 01, නුවනිඳු ප්‍රනාන්දු13, චරිත් අසලංක 21, ර‍මේෂ් මෙන්ඩිස් 14, චමිඳු වික්‍රමසිංහ 1, විජේකාන්ත් වියෙස්කාන්ත්  9, මහීෂ් තීක්ෂණ 7, බිනුර ප්‍රනාන්දු නොදැවී 4, අතිරේක 10 (දුෂ්මන්ත චමීර 26/2, කමිඳු මෙන්ඩිස් 25/2, චාමික කරුණාරත්න 24/3, කමීල් මිෂාර 14/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee