slc
logo
Home   |    News
අගෝස්තු 21, 2025
සිම්බාබ්වේට එරෙහි එක්දින සටනට පවන් රත්නායකව කැඳවයි

sinhala editor

මේ මස අවසනදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට පළමු වතාවට පවන් රත්නායකව කැඳවීමට උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. පවන්ට අමතරව මැද පෙළ පිතිකරුවකු වන නුවනිඳු ප්‍රනාන්දුවද ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුතුව නම් කරන ලද ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට කැඳවා තිබේ.

මේ අතර ඉකුත්දා බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක් වුණු තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග තවමත් සුව අතට පත් නොවීම හේතුවෙන් මේ මස 22 වැනිදා සිම්බාබ්වේ බලා පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් කර නොමැත.  

අන්තර් සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මෙන්ම නිමාවට පත් වුණු ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමේ තරග සංචාරයේදී පිතිකරුවකු ලෙස දක්වන ලද දක්ෂතා සැලකිල්ලට ගනිමින් පවන්ව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට එක් කර තිබේ.

දකුණතින් පිත්ත හසුරුවන පවන්, කොළඹ සී. සී. සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරන්නේය. 22 හැවිරිදි වියේ පසුවන පවන්, නිමාවට පත් වුණු අන්තර් සමාජ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව හයේ පහර 9ක් සහ හතරේ පහර 13 ක් සමගින් පන්දු 94 කදී නොදැවී ලකුණු 158 ක් ලබා ගනිමින් සී. සී. සී. ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූවේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 5 කට සහ එක් විස්සයි-20 ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර ඇති නුවනිඳු තවමත් 25 වැනි වියේ පසුවෙයි. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන දකුණත් පිතිකරුවා ඉකුත්දා ඔස්ට්‍රේලියාවේ පැවැති ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමේ තරග සංචාරය යටතේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූවේය.

ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති එක්දින තරග 3 දී ශතක 2 ක් ද සමඟින් නුවනිඳු රැස් කරන ලද මුලු ලකුණු සංඛ්‍යාව 240 ක් වේ. දෙපිළේම පිතිකරුවන් අතරින් වැඩිම ලකුණු ලාභියා බවට නුවනිඳු පත්වද්දී ඔහුගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 120 ක් ලෙසින් සටහන්ව තිබිණ.

මීට අමතරව ඉකුත්දා බංග්ලාදේශයට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද කණ්ඩායමට ඇතුළත්ව සිටි අවිශ්ක ප්‍රනාන්දු සහ එෂාන් මාලිංගට සිය ස්ථානය අහිමිව තිබේ. මාලිංගගේ ස්ථානය සඳහා වේග පන්දු යවන දුෂ්මන්ත චමීරට කණ්ඩායමට කැඳවා තිබේ.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පළමු එක්දින තරගය මේ මස 29 වැනිදා පැවැත්වෙන අතර දෙවැන්න 31 වැනිදා හරාරේහිදී පැවැත්වේ.

එක්දින කණ්ඩායම – චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, නිශාන් මදුෂ්ක, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, නුවනිඳු ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, පවන් රත්නායක, දුනිත් වෙල්ලාලගේ, මිලාන් රත්නායක, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සි, අසිත ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මදුශංක.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar