slc
logo
Home   |    News
සැප්තැම්බර් 10, 2025
අත්දැකීම්වලට මුල් තැන දෙමින් කාන්තා ලෝක කුසලානෙට ශ්‍රී ලංකා පිල නම් කරයි

sinhala editor

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කිරීමේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් කෙරෙහි වැඩි බලාපොරොත්තු තබා තිබේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය දරනු ලබන මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම නම් කිරීමේදී ජ්‍යෙෂ්ඨත්වය සැලකීමට අමතරව පිතිකරණ අංශයද ශක්තිමත් කිරීම කෙරෙහි වැඩි අවධානය යොමුව තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස අවසන් තරගාවලි කීපයේදීම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ස්ථාන දිනා ගැනීමට සමත්ව සිටි අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ හිටපු නායිකා මනුදි නානායක්කාර මෙන්ම උප නායිකා රශ්මිකා සෙව්වන්දිට ස්ථාන අහිමිව තිබේ. ඒ අනුව කණ්ඩායමට එක්ව සිටින ළාබාළතම එකම ක්‍රීඩිකාව වන්නේ තුන් ඉරියව් ක්‍රීඩිකා දෙව්මි විහංගා පමණි.

නම් කරන කණ්ඩායමේ ක්‍රීඩිකාවන් අතර එක්දින ජාත්‍යන්තර තරග 5 කට අඩුවෙන් ක්‍රීඩා කර ඇති ක්‍රීඩිකාවන් ඇතුළත්ව ඇත්තේ සිව් දෙනෙකු පමණි.  මල්කි මදාරා (5), ඉමේෂා දුලානි (5) දෙව්මි විහංගා (4) සහ පියුමි වත්සලා (2) එම ක්‍රීඩිකාවෝ වෙති. එම ක්‍රීඩිකාවන් සිවු දෙනා අතරින් දෙව්මි සහ පියුමි කණ්ඩායමට එක්ව සිටින්නේ තුන් ඉරියව් ක්‍රීඩිකාවන් ලෙසිනි.

චමරි අතපත්තුගේ නායකත්වය යටතේ නම් කර තිබෙන මෙම කණ්ඩායමේ ඉහත ක්‍රීඩිකාවන් සිව්දෙනා හැරුණු කොට කණ්ඩායමට නම් කොට ඇති අනෙක් සියලුම ක්‍රීඩිකාවන් එවම වශයෙන් එක්දින ජාත්‍යන්තර තරග 25 කට වැඩියෙන් ක්‍රීඩා කර ඇති ක්‍රීඩිකාවෝ වීම කැපී පෙනෙයි. ඒ අතර පිතිකාරිණියන් 7 දෙනෙක් තුන් ඉරියව් ක්‍රීඩිකාවන් තිදෙනෙකු සහ පන්දු යවන්නියන් සිව් දෙනෙකු ඇතුළත්ව සිටිති.

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙම සැප්තැම්බර් මස 30 වැනිදා සිට නොවැම්බර් 02 වැනිදා දක්වා කාල සීමාවේදී පැවැත්වෙනු ඇත. සම සත්කාරකයින් වන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සැප්තැම්බර් 30 වැනිදා ගුවාතිහි පැවැත්වෙන තරගයෙන් තරගාවලිය ආරම්භ වනු ඇත.

ශ්‍රී ලංකා කාන්තා සංචිතය

  1. චමරි අතපත්තු (නායිකාව)
  2. හසිනි පෙරේරා
  3. විශ්මි ගුණරත්න
  4. හර්ෂිතා සමරවික්‍රම
  5. කවීෂා දිල්හාරි
  6. නිලක්ෂි ද සිල්වා
  7. අනුෂ්කා සංජීවනී (උප නායිකාව)
  8. ඉමේෂා දුලානි
  9. දෙව්මි විහංගා
  10. පියුමි වත්සලා
  11. ඉනෝකා රණවීර
  12. සුගන්දිකා කුමාරි
  13. උදේශිකා ප්‍රබෝධනී
  14. මල්කි මදාරා
  15. අචිනි කුලසූරිය

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee