slc
logo
Home   |    News
නොවැම්බර් 16, 2025
තෙවැනි තරගයේ ජයත් පාකිස්තානයට

sinhala editor

පාකිස්තානයේ රාවල්පිණ්ඩි නුවරදී අද (16 දා) පැවැති තුන්වැනි සහ අවසන් එක්දින තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම පරදා කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තානු කණ්ඩායම සමත්විය. මේ සමඟ තරගාවලිය 3-0 ක් ලෙසින් ශ්‍රී ලංකාවට එරෙහිව පූර්ණ සුද්දයක් දැමීමට පාකිස්තානුවෝ සමත්වූහ.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගන්නා ලද්දේ ලකුණු 211 ක් පමණි. ශ්‍රී ලංකාව අද දිනයේදී කෙතරම් දුර්වල පිතිහරඹයක නියැළුණේද කිවහොත් නියමිත පන්දුවාර 50 න් ක්‍රීඩා කිරීමට සමත්වූයේ පන්දුවාර 45 කුත් පන්දු 2 කට පමණි. පිළිතුරු ජයග්‍රාහී ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානුවෝ ඉලක්කය පන්දු 32 ක් ඉතිරිව තිබියදී රැස් කර ගන්නා ලද්දේ කඩුලු 4 ක් පමණක් ප්‍රතිවාදී පන්දු යවන්නන් හමුවේ පිරිනමමිනි.

පාකිස්තාය වෙනුවෙන් ෆකාර් සමාන් (55) සහ මොහොමඩ් රිස්වාන් (61*) අර්ධ ශතක වාර්තා කළහ. වනිදු හසරංග වෙනුවට ක්‍රීඩා කළ ජෙෆ්රි වැන්ඩර්සි ලකුණු 42 කට කඩුලු 3 ක්ද මහීෂ් තීක්ෂණ එක් කඩුල්ලක්ද ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කඩුලු දවා ගත්හ.

පාකිස්තානු පළමු කඩුල්ල ලකුණු 08 දී බිඳ වැටුණද දෙවැනි කඩුල්ලට එක් වූ බාබර් අසාම් සහ ෆකාර් සමාන් ලකුණු 76 ක සම්බන්ධතාවක් එක් කළහ. ලකුණු 32 ක් ඇතුළත තවත් කඩුලු 3 ක් දවා ගත් ජෙෆ්රි වැන්ඩර්සි තරගයේ වාසිය යළිත් ශ්‍රී ලංකාව වෙත ගෙන දීමට සමත් වුත්, 5 වැනි කඩුල්ලට එක් වුණු මොහොමඩ් රිස්වාන් සහ හුසේන් තලත් පන්දු 122 කදී නොබිඳුණු ලකුණු 100 ක සම්බන්ධතාවක් පවත්වමින් පාකිස්තානු පිල ජය කණුව කරා රැගෙන ගියහ. තලත්ගේ පිත්තෙන් එල්ල කරන ලද ලකුණු 4 ත් සමඟ පාකිස්තානු පිලේ ජයග්‍රහණය මෙන්ම එම සම්බන්ධතාවයේ ලකුණු 100 ද සනිටුහන් විය.

පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 55 ක සම්බන්ධතාවක් පැවැත්වීමට පැතුම් නිස්සංක (24) සහ කමිල් මිශාර (29) සමත් වුවද දෙදෙනාම දීර්ඝ ඉනිම කරා යෑමට නොහැකි විය. මොවුන් දෙදෙනාම පන්දු 21 ක් ඇතුළත දවා ගැනීමට පාකිස්තානු පන්දු යවන්නන් සමත්විය. පළමු එක්දින තරගය තම මංගල එක්දින තරගය බවට පත් කරගත් කමිල් මිශාරගේ තරග 3 ලකුණු සටහන් වූයේ 38, 27 සහ 29 ලෙසිනි.

පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක් බව විචාරකයින්ගේ මතය වුවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිම පිතිකරුවට අවම තරමේ අර්ධ ශතකයක් හෝ රැස් කර ගැනීමට නොහැකි විය. යළි යළිත් මැද පෙළ පිතිකරුවන් දක්වනු ලබන දුර්වල තාවය අද තරගයේදීද ශ්‍රී ලංකා පිලේ හරහට හිටියේය.

සධීර සමරවික්‍රම ලබා ගත් ලකුණු 48 ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් සනිටුහන් විය. එම ඉනිමත් අද දිනයේදී මංගල එක්දින වරම් දිනාගත් පවන් රත්නායක රැස් කරන ලද ලකුණු 32 ට පිංසිදු වන්නට ශ්‍රී ලංකා පිලට ලකුණු 200 සීමාව ඉක්මවා යෑමට හැකියාව ලැබිණ.

පන්දු 65 කට මුහුණ දුන් සදීර තම ඉනිම හතරේ පහර 2 කින් පමණක් සරසා ගත්තේය. එහෙත් මොහොමඩ් වසීම්ගේ විශිෂ්ඨ පන්දු කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා අර්ධ ශතකය පෙනී පෙනී සදීරගේ ඉනිම නිමාවට පත්විය.

නිත්‍ය එක්දින නායක චරිත් අසලංකට අසනීප වී සිටීම හේතුවෙන් අද තරගයේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවන ලද්දේ කුසල් මෙන්ඩිස් විසිනි. කාසියේ වාසිය තමන් සතු කරගත් පාකිස්තානු නායක ශහීන් ෂා අෆ්රිඩිගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට  පැමිණියේ කණ්ඩායම තුළ වෙනස්කම් 4 ක් සිදු කරමිනි.

කමිඳු මෙන්ඩිස් (10) සහ ජනිත් ලියනගේ (04) ද අඩු ලකුණු වලට දැවී යෑම ශ්‍රී ලංකා පිලට දැවැන්ත පාඩුවක් විය. අංක  7 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි පවන් රත්නායක ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පිතිකරුවා ලෙසින් දැවී ගියේ දුවද්දී දැවී යෑමකට හසුවය. පන්දු 37 කට මුහුණ දුන් දකුණත් පිතිකරුවා ඉනිමේ එකම හයේ පහර එල්ල කරන ලද ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත්වූවේය. හැරිස් රාවුෆ් විසින් පැයට කිලෝ මිටර 145 ක වේගයෙන් යුතුව එවන ලද පන්දුවට එල්ල කරන ලද අලංකාර ලොෆ්ට් ඩ්‍රයිව් පහරක් එල්ල කරමින් එම හයේ පහර පවන් සමත් වූවේය. දකුණතින් පන්දුවට පහර දෙන පවන් ඊට අමතරව හතරේ පහර 2 ක්ද තම ඉනිමට එකතු කරගෙන සිටියේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනාගත් 219 වැනි ක්‍රීඩකයා බවට පත් වුණු පවන්ට කොළඹ මහානාම විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවිශ්ඨ වූවෙකි. ඔහුගේ නම ඉදිරියෙන් වාර්තාවක් ලියැවී ඇත්තේ ශ්‍රී ලංකා පළමු පෙළ තරග ඉතිහාසයේ ශතකයක් ලබා ගත් ළාබාලතම පිතිකරුවා ලෙසිනි. සී. සී. සී. නියෝජනය කරමින් මුවර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව පවන් ශතකය රැස් කර ගන්නා විට ඔහුගේ වයස අවුරුදු 17 යි දින 189 ක් විය. ඔහුට පෙර එම වාර්තාවේ හිමිකරුවා බවට පත්ව සිටියේ සුදත් පැස්කුවල් වන අතර ඔහු ඊට වසර 41 කට පෙර හෙවත් 1979 වසරේදී අයර්ලන්ත කණ්ඩායමකට එරෙහිව පැවැති තුන්දින තරගයකදී ශතකය රැස් කරගන්නා විට අවුරුදු 17 කුත් දින 265 ක වයසේ පසුවිය.

පවන් රත්නායක එක්දින හිස් වැස්ම පැළඳීමට අමතරව, වනිදු හසරංගට වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සි ද, දුෂ්මන්ත චමීර වෙනුවට එෂාන් මාලිංග, අසිත ප්‍රනාන්දු වෙනුවට මහීෂ් තීක්ෂණ ද කණ්ඩායමට පැමිණ සිටියහ.

ශ්‍රී ලංකාව පන්දුවාර 45.2 කදී සියලු දෙනා දැවී ලකුණු 211 යි – (පැතුම් නිස්සංක 24, කමිල් මිශාර 29, කුසල් මෙන්ඩිස් 34, සදීර සමරවික්‍රම 48, කමිදු මෙන්ඩිස් 10, ජනිත් ලියනගේ 04, පවන් රත්නායක 32, මහීෂ් තීක්ෂණ 07, ජෙෆ්රි වැන්ඩර්සි 04, ප්‍රෙමා්ද් මදුෂාන් 07, එෂාන් මාලිංග 00*, මොහොමඩ් වසීම් 47/3, හැරිස් රාවුෆ් 38/2, ෆයිසාල් අක්‍රම් 42/2, ශහීන් ෂා අෆ්රිඩි 36/1, ෆහීම් අශ්රෆ් 43/1)

පාකිස්තානය පන්දුවාර 44.4 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 215 යි –  ෆකාර් සමාන් 55, මොහොමඩ් රිස්වාන් 61*, සල්මාන් අඝා 06,  හුසේන් තලත් 42*, හසීබුල්ලා ඛාන් 00, බාබර් අසාම් 34, ජෙෆ්රි වැන්ඩර්සි 42/3, මහීෂ් තීක්ෂණ 37/1)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee