slc
logo
Home   |    News
නොවැම්බර් 3, 2025
දෙවැනි තරගයේ ජයත් යොවුන් ක්‍රීඩිකාවන්ට

sinhala editor

 ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ බාලිකා ක්‍රිකට් කණ්ඩායම සහ මලයාසියා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී අද (03) පැවැති දෙවැනි විස්සයි 20 තරගයෙන් කඩුලු හතක පහසු ජයග්‍රහණයක් අත්කර ගත් ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ බාලිකාවෝ තරග පහකින් සමන්විත මේ තරගාවලියේ දැනටමත් තරග 2 – 0කින් ඉදිරියෙන් පසු වේ.

 මලයාසියා ජාතික කාන්තා කණ්ඩායම මේ තරගයේ දී ද කාසියේ වාසිය දිනා තීරණය කළේ මුලින් පන්දුවට පහරදීමටය. එහෙත් ඔවුනට පන්දුවාර 20 අවසානයේ කඩුලු හතක් දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 94ක් පමණකි.

 පිළිතුරු ලෙස ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම පන්දුවාර 17.4ක දී කඩුලු තුනකට ලකුණු 98ක් රැස් කරමින් මේ පහසු ජය වාර්තා කළහ.

 මලයාසියා ජාතික කණ්ඩායම පන්දුවට පහරදෙද්දී වැඩිම ලකුණු රැස් කළේ නායිකාව මාස් එලිසා (ලකුණු 23යි පන්දු 28යි හතරේ පහර තුනයි) අයිනා හමිෂා (ලකුණු 19යි පන්දු 20යි හතරේ පහර දෙකයි) සහ නුර් ඩානියා (ලකුණු 11යි පන්දු 21යි)

 මලයාසියා කණ්ඩායමේ හොඳම සබඳතාවය වුයේ පළමු කඩුල්ලට අයිනා හමිෂා සහ අයිනා ජුවා (07) ප්‍රථම කඩුල්ලට පන්දුවාර 3.5ක දී රැස් කළ ලකුණු 26 වේ.

 දක්ෂ පන්දු යැවීමක නිරත වු අසේනි තලගුණේ ලකුණු 14කට කඩුලු දෙකක් බිඳ දැමුවාය.

 ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ පන්දුවාර තුනක දී ලකුණු හයකට කඩුලු දෙකක් දැවී අසීරු තත්ත්වයකට පත්විණි.

 පසුව අංක හතර පිතිකාරිණිය සහ නායිකාව මනුදි නානායක්කාර සහ ආරම්භක පිතිකාරිණිය විමෝක්ෂා බාලසූරිය තෙවන කඩුල්ලට පන්දුවාර 4.3ක දී ලකුණු 36ක් රැස් කරමින් ද මනුදි නානායක්කාර සහ අංක පහ පිතිකාරිණිය ශෂිනි ගිම්හානි සිව් වන කඩුල්ලට නොදැවී ලකුණු 53ක (පන්දුවාර 11ක දී) සබඳතාවයක් ද තබා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයට මුල් විණි.

 නායිකාව මනුදි නානායක්කාර නොදැවී ලකුණු 33ක් ද (පන්දු 41යි හතරේ තුනයි) ශෂිනි ගිම්හානි නොදැවී ලකුණු 32ක් ද (පන්දු 31යි හතරේ දෙකයි හයේ පහරයි) විමෝක්ෂා බාලසූරිය ලකුණු 20ක් ද (පන්දු 19යි හතරේ පහර තුනයි) දක්ෂ පිතිහරඹයක නියැළිණි.

ලකුණු විස්තරය

 මලයාසියා ජාතික කාන්තා කණ්ඩායම පන්දුවාර 20ක දී කඩුලු 7කට 94යි – (මාස් එලිසා 23, අයිනා හමිෂා 19, නුර් ඩානියා 11, අසේනි තලගුණේ 14/2, මිතලි අයෝධ්‍යා 8/1, විමංසා තිලකරත්න 15/1)

 ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායම පන්දුවාර 17.4ක දී කඩුලු 3ට 98 – (මනුදි නානායක්කාර නොදැවී 33, ශෂිනි ගිම්හානි නොදැවී 32, විමෝක්ෂා බාලසූරිය 20, නුර් ඩානියා 16/2, අයිනා හමිෂා 8/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar