තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැදී සිටීමට නම් ජයග්‍රහණය අතිශය තීරණාත්මක වුණු දෙවැනි එක්දින තරගයෙන් සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කළ එංගලන්ත ක්‍රීඩකයෝ තරගාවලිය එකට එකක් ලෙස (1-1) ලෙස සමබර තත්ත්වයට රැගෙන ඒමට අද (24 දා) රාත්‍රියේදී සමත්වූහ. 2007 වසරෙන් පසු ගතවූ වසර 19 කට ආසන්න කාලය ඇතුළතදී එංගලන්තයට හිමි වූ පළමු එක්දින තරග ජයද මෙය විය.
ලකුණු 220 ක ඉලක්කයක් කරා ගිය එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහනය සඳහා මං පෑදූ පළපුරුදු පිතිකරු ජෝ රූට් සිය 45 වැනි එක්දින අර්ධ ශතකය සමගින් පන්දු 90 කදී ලකුණු 75 ක් ලබා පිතිකරණ අංශයෙන් පෙරමුණ ගත්තේය. අසිත ප්‍රනාන්දුගේ යෝකර් පන්දුවක් හමුවේ ජෝ රූට් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යන විටත් එංගලන්ත ජයග්‍රහණය සඳහා අවශ්‍යව පැවැතියේ ලකුණු 42 ක් පමණි.
රූට්ගේ නික්ම යෑමෙන් ලකුණු 11 ක් ලකුණු පුවරුවට එකතුවන අතර වාරයේදී සිව්වැනි කඩඩුල්ල වෙනුවෙන් ලකුණු 81 ක සම්බන්ධතාවක් පැවැත්වීමට දායකත්වය දැක්වූ නායක හැරී බෘෘක් ද වැන්ඩර්සි හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීම නිසා ශ්‍රී ලංකාවට තරගය පිළිබඳව සීමිත බලාපොරොත්තුවක් ඇතිකර ගැනීමට හැකියාව ලැබුණු නමුත්, කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර්ගේ බලවත් පහරවල් කීපයක් සමගම එංගලන්ත කණ්ඩායම පන්දු 22 ක් ඉතිරිව තිබියදී ජය සනිටුහන් කළේය. නිමා වන විට බටර්ල් පන්දු 21 කට මුහුණ දී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 33 ක් රැස් කරගෙන සිටියේය.
එංගලන්තයේ ජයග්‍රහණයට මූලික වශයෙන් බලපාන ලද කරුණු අතර ඔවුන්ගේ පන්දු රැකීම සහ විශිෂ්ඨ පන්දු රැකීම සඳහන් කළ හැක. විටින් විට විවිධ පන්දු යවන්නන් භාවිතා කරමින් ශ්‍රී ලංකා පිලේ කිසිදු පිතිකරුවකුට එක් පන්දු යවන්නකු හමුවේ ස්ථාවරත්වයක් ගොඩ නගා ගැනීමට අවස්ථාව වළකාලීම එංගලන්ත නායකයාගේ අරමුණ වූ අතර ඒ අනුව සාර්ථක වුණු ඔවුන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 49.3 කදී ලකුණු 219 කට සීමා කළේය.
ශ්‍රී ලංකා පිතිකරුවන් මෙල්ල කිරීම සදහා එංගලන්ත නායකයා පන්දු යවන්නන් 8 දෙනෙකුගේ සේවය ලබා ගත් අතර ඒ අතරින් හය දෙනෙකුම දඟ පන්දු යවන්නන් විය. ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන ලද පන්දුවාර 49.3 න් පන්දුවාර 40.3 ක් යවා තිබුණේ එම දඟ පන්දු යවන්නන් වන අතර එය එංගලන්ත එක්දින ඉතිහාසයේ වාර්තා පොත් අලුත් කරවන්නක් ද වූවේය. පෙර වාර්තාව වූයේ 1984-85 වසරේදී සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පාකිස්තානයට එරෙහිව යවන ලද පන්දුවාර 36 විය.
ආරම්භක පිතිකරුවන් නැවතත් අසාර්ථක වූ අතර පළමු විකට්ටුවේ සම්බන්ධතාවය ලකුණු 16 කදී නිමාවිණ. කමිල් මිශාර ලකුණු 05 කදී ඔවර්ට්න්ගේ පන්දුවක් හමුවේ බෙන් ඩකට් අතට උඩ පන්දුවක් දී දැවී ගියේය. දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව තරමක් ශක්තිවන්ත වන්නට පිතිකරුවන් උත්සාහ කළ නමුත්, පැතුම් නිස්සංක අදිල් රශීඩ්ගේ පළමු ගොදුර වෙමින් ලකුණු 26 කට දැවී ගියේය. අනතුරුව විල් ජැක්ස්ගේ අති විශිෂ්ඨ පන්දු රැකීම සහ පන්දු පිරිනැමීම හේතුවෙන් කුසල් මෙන්ඩිස්ද දුවද්දී දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු 3 කට ලකුණු 68 ක් වශයෙනි.
කෙසේ වෙතත් ධනංජය ද සිල්වාට එක් වුණු නායක චරිත් අසලංක ශ්‍රී ලංකා ඉනිම නවත ගොඩ නැගීමට උත්සාහ කරමින් පන්දු 93 කින් ලකුණු 66 ක් එක් කළහ. එහෙත් මොවුන් දෙදෙනාම ලකුණු 40 සීමාවේදී දැවීි ගිය අතර, ජනිත් ලියනගේගේ ඉනිම පන්දු 11 කදී නිමාවට පත්විය.
මහත් බලාපොරොත්තු තබා සිටින නවක ක්‍රීඩක පවන් රත්නායකද හොඳ ආරම්භයක් ලබා ගත් නමුත්, 45 වැනි පන්දුවාරය අවසානයේදී ඔහුද පිටියෙන් ඉවත් වන විට ශ්‍රී ලංකා පිල යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 213 වශයෙන් සටහන්ව තිබිණ. කෙසේ වෙතත් පසු පෙළින් පැමිණි දුනි1ත් වෙල්ලාලගේ අද දිනයේදී පිතිකරුවකු ලෙස සාර්ථකව වෙමින් පන්දු 19 කදී ලකුණු 20 ක් රැස් කරගෙන ශ්‍රී ලංකා ඉනිම ලකුණු 220 ආසන්නයට ගෙන ගියේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවට පහර දීමට පැමිණි පිතිකරුවන් 11 දෙනාගෙන් ලබා ගත් ලකුණු සංඛ්‍යාවට වඩා අඩු පන්දු සංඛ්‍යාවකට මුහුණ දී තිබූ එකම පිතිකරුවා වූයේද වේලාලගේය.
එංගලන්තය පන්දු යවන්නන් අතරින් දඟ පන්දු යවන්නන් දක්ෂතා දැක්වූ අතර ජෙමී ඕවර්ටන්, අදිල් රශීඩ් සහ ජෝ රූට් කඩුල 2 බැගින් දවා ගත්හ. ලියම් ඩෝසන්, රෙහාන් අහමඩ්, විල් ජැක්ස් එක් කඩුල්ල බැගින් ලබා ගත් අතර රූට් දවා ගන්නා ලද පන්දු 2 අවසන් පන්දුවාරයේදී දවා ගත්තේය.
දෙරට අතර පැවැති පළමු තරගය ලකුණු 19 කින් ජය ගැනීම නිසා ශ්‍රී ලංකා නායකයා මෙම තරගයේදීද කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. තරග ජයග්‍රහණය කරන විටදී ජයග්‍රාහී සංයුතිය නොවෙනස්ව පවත්වාගෙන ශ්‍රී ලංකා පිලේ සාම්ප්‍රදාය තවදුරටත් රැගෙන යමින් අද තරගයේදීද ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු වෙනස්කමක් නොකර පිවිස සිටියේය. එංගලන්ත කණ්ඩායම පළමු තරගයේදී ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා කිරීමෙන් වැළකී සිටි විල් ජැක්ස්ව කැඳවා තිබූ බැවින් පළමු තරගයට ක්‍රීඩා කළ සැක් ක්‍රෝලිට තම ස්ථානය අහිමිවිය.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.3 කදී සියලු දෙනා දැවී ලකුණු 219 යි – (පැතුම් නිස්සංක 26, කමිල් මිශාර 05, කුසල් මෙන්ඩිස් 26, ධනංජය ද සිල්වා 40, චරිත් අසලංක 45, ජනිත් ලියනගේ 12, පවන් රත්නායක 29, දුනිත් වෙල්ලාලගේ 20, ප්‍ර මෝද් මදුෂාන් 08, ජෙෆ්රි වැන්ඩර්සි 01*, අසිත ප්‍රනාන්දු 00, ජෙමී ඔවර්ටන් 21/2, ජෝ රූට් 12/2, අදිල් රශීඩ් 34/2, ලියම් ඩෝසන් 41/1, විල් ජැක්ස් 47/1, රෙහාන් අහමඩ් 26/1)
එංගලන්තය පන්දුවාර 46.2 කදී කදී කඩුලු 5 ක් දැවී ලකුණු 223 යි – (රෙහාන් අහමඩ් 13, බෙන් ඩකට් 39, ජෝ රූට් 75, ජෙකොබ් බෙතෙල් 06, හැරී බෘෘක් 42, ජොස් බට්ලර් 33*, විල් ජැක්ස් 08*, ධනංජය ද සිල්වා 37/2, ජෙෆ්රි වැන්ඩර්සි 45/2, අසිත ප්‍රනාන්දු 31/1)





