ජාත්‍යන්තර අත්දැකීම් සහිත ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත නවසීලන්ත කාන්තා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව තවමත් ළාබාල සහ තරුණ ක්‍රීඩිකාවන් රැසකින් සමන්විත ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායම තවත් විශිෂ්ට දක්ෂතා දක්වමින් දෙවැනි නිල නොවන පන්දුවාර 20 තරගයෙන් ලකුණු 56ක ජයක් වාර්තා කළේය. මෙම ජයත් සමග තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය 2-0 ක් ලෙස ශ්‍රී ලංකාව සතු විය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ පිල පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 152ක් රැස් කළේය. එහිදී ආරම්භක පිතිකාරිනී විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 57ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිමේ ප්‍රධාන ශක්තිය බවට පත්වූවාය. පන්දු 49කින් ගොඩනැගුණු ඇගේ ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.
ඇයට අනගි සහායක් ලබාදුන් විමෝක්ෂා බාලසූරිය ලකුණු 33ක් රැස් කළ අතර සංජනා කාවින්දි ද ලකුණු 27ක් ලබා ශ්‍රී ලංකා ලකුණු පුවරුව ශක්තිමත් කළාය. මැද පෙළින් පැමිණි දෙව්මි විහංගා ඉනිමේ අවසන් පන්දු 3 ට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් එල්ල කරමින් රැස් කරන ලද ලකුණු 14 නිසා ශ්‍රි ලංකා පිලට ලකුණු 150 සීමාව ඉක්මවා යෑමට අවස්තාව උදාවිය.
නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර අත්දැකීම් සහිත ජෙස් වොට්කින් සහ හැනා රෝව් කඩුලු 2 බැගින් දවා ගත්තද, ශ්‍රී ලංකා තරුණ පිතිකාරිනියන් පීඩනය මැනවින් පාලනය කරමින් සාර්ථක ඉනිමක් ගොඩනැගීමට සමත් වූහ.
ලකුණු 153ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කාන්තා ‘ඒ’ පිල ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ කැපී පෙනෙන සහ ආක්‍රමණශීලී පන්දු යැවීම හමුවේ පන්දුවාර 19.5කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 96කට සීමා විය.
ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණයේ ප්‍රධාන චරිතය බවට පත්වූ දෙව්මි විහංගා පිත්තෙන් දැක්වූ දක්ෂතාවයට අමතරව ලකුණු 19කට කඩුලු 3ක් දවා ගනිමින් නවසීලන්ත පිල බිඳ දැමීමට මූලිකත්වය ගත්තාය. ඇයට අමතරව චමුදි ප්‍රබෝධා ද ලකුණු 15කට කඩුලු 2ක් දවා ගනිමින් විශිෂ්ට සහායක් ලබා දුන්නාය. නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ එමා බ්ලැක් වන අතර ඇය ලකුණු 28ක් රැස් කළාය.
ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ පන්දුවාර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 152/5 (විශ්මි ගුණරත්න 57* , විමෝක්ෂා බාලසූරිය 33, සංජනා කාවින්දි 27, ජෙස් වොට්කින් 26/2, හැනා රෝව් 29/2)
නවසීලන්ත කාන්තා ‘ඒ’ කණ්ඩායම පන්දුවාර 19.5 කදී ලකුණු 96 යි – (එමා බ්ලැක් 28, දෙව්මි විහංගා 19/3, චමුදි ප්‍රබෝධා 15/2)





