slc
logo
Home   |    News
ජූලි 18, 2026
ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට ගෞරව දැක්වීමට LPL 2026 තරගාවලිය සූදානම්

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අද (18) පැවැත්වෙන තරග ආරම්භයට පෙර ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු  ක්‍රිකට් ශ්‍රේෂ්ඨයකු වන ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට ගෞරව දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.

ඒ අනුව කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ අද දින පැවැත්වෙන තරග ආරම්භයට පෙර ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතා සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවක් පැවැත්වීමට නියමිත අතරම අද පැවැත්වෙන තරග වලදී කණ්ඩායම් 4 හි සියලුම ක්‍රීඩකයින් මෙම ක්‍රිකට් ශ්‍රේෂ්ඨතමයාට ගෞරව දැක්වීමක් ලෙස කළු පැහැති අත් පටි පැළඳ තරග වදිනු ඇත.

“සර් ගැරී” ආදර නාමයෙන් හැඳින්වෙන, ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩාවට අමරණීය සේවයක් ඉටු කළ සෝබර්ස් මහතාගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ LPL 2026 තරගාවලිය සමඟ එක්ව සිටින සමස්ත ක්‍රිකට් ප්‍රජාව සිය බලවත් ශෝකය පළ කරයි.

ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන සෝබර්ස් මහතා, පිතිකරණය, පන්දු යැවීම සහ පන්දු රැකීම යන තුන් ඉරියව්වෙන්ම දැක්වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ක්‍රීඩාවේ සදාකාලික පුරාවෘත්තයක් බවට පත්විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟද ඔහුට සුවිශේෂී සබඳතාවක් පැවති අතර, 1980 දශකයේ මුල් භාගයේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරමින් මෙරට ක්‍රිකට් සංවර්ධනයට දායක විය. එම කාලය තුළ 1983 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහාද ශ්‍රී ලංකා කණ්ඩායමට ඔහුගේ මඟපෙන්වීම හිමි විය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee