slc
logo
Home   |    News
අගෝස්තු 25, 2026
ආසියානු කුසලාන රැක ගැනීමට ශ්‍රී ලංකා කාන්තා පිල සූදානම ගැන චමරි කතා කරයි

sinhala editor

ආසියානු කුසලාන ශූරතාව රැක ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වන ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියට සහභාගී වීමට සූදානමින් සිටින අතර, නායිකා චමරි අතපත්තු කණ්ඩායමට මෙවරද සාර්ථක තරගාවලියක් ලබාගත හැකි බවට විශ්වාසය පළ කළාය.

මෙවර ආසියානු කුසලාන විස්සයි20 තරගාවලිය අගෝස්තු 28 වැනිදා ඩුබායිහිදී ආරම්භ වීමට නියමිත අතර, ශ්‍රී ලංකාව පසුගිය වර පැවැති තරගාවලියේ ශූරතාව දිනාගත් කණ්ඩායම ලෙස තරගාවලියට එක්වෙයි. 2024 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැති අවසන් ආසියානු කුසලාන තරගාවලියේ අවසන් තරගයේදී ඉන්දියාව කඩුලු 8කින් පරාජය කරමින් ශ්‍රී ලංකාව එහි ශූරතාව දිනා ගත්තේය.

“ශූරයන් ලෙස තරගාවලියට පැමිණෙන විට අවධානය වැඩි වෙනවා. ඒ වගේම ක්‍රීඩා ලෝලීන්ගෙන් විශාල බලාපොරොත්තු තිබෙනවා. ඒ නිසා සෑම තරගයක්ම වැදගත්. විශේෂයෙන්ම තමන්ගේ රටේදී ක්‍රීඩා කරන එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහි තරගය අපේ පළමු තරගය නිසා එය ඉතා වැදගත්,” යැයි චමරි අතපත්තු කණ්ඩායම ඩුබායි බලා පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මූලස්ථානයේදී පැවසුවාය.

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වුවද, එහිදී දැක්වූ දක්ෂතා මෙන්ම පාකිස්තානයට එරෙහිව පැවැති විස්සයි20 සහ එක්දින තරගාවලි දෙකම 2-1ක් ලෙස ජය ගැනීමත් සමග මෙවර ආසියානු කුසලානයට හොඳ මානසිකත්වයකින් එක්වන බවද ඇය පෙන්වා දුන්නාය.

“මේ කණ්ඩායමේ විශේෂත්වය වන්නේ ක්‍රීඩිකාවන් මානසිකව හොඳ තත්ත්වයක සිටීම වගේම හොඳ දක්ෂතා අතර සිටීමයි. අපේ වැරදි බොහොමයක් නිවැරදි කරගෙන තිබෙනවා. ඒ නිසා අපට හොඳ දක්ෂතාවක් දැක්විය හැකි බවට මම විශ්වාස කරනවා,” යැයි චමරි පැවසුවාය.

කෙසේ වෙතත්, ආසියානු කුසලානයට පෙර ශ්‍රී ලංකාව එක්දින තරගාවලියකට සහභාගී වීම විස්සයි20 තරගාවලියක් සඳහා පරිපූර්ණ සූදානමක් නොවන බවද ඇය සඳහන් කළාය. ඩුබායිහිදී පැවැත්වෙන පුහුණු තරග කිහිපයක් හරහා කණ්ඩායම උපරිම ලෙස සූදානම් වීමට බලාපොරොත්තු වන බවද ඇය පැවසුවාය.

“විස්සයි20 ආසියානු කුසලානයට පෙර අපි ක්‍රීඩා කළේ එක්දින තරගාවලියක්. ඒක‍ෙපූර්ණ සූදානමක් කියලා කියන්න බැහැ. නමුත් අපට පාලනය කළ හැකි දේවල් හොඳින් කිරීමට අවධානය යොමු කරනවා. ඩුබායිහිදී පුහුණු තරග කිහිපයක් තිබෙනවා. ඒ හරහා අපි උපරිම ලෙස සූදානම් වෙනවා. විස්සයි20 ක්‍රිකට්වලදී ඕනෑම කණ්ඩායමකට ඕනෑම අවස්ථාවක තවත් කණ්ඩායමක් පරාජය කළ හැකි නිසා කිසිම කණ්ඩායමක් අවතක්සේරු කරන්න බැහැ,” යැයි ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ශ්‍රී ලංකා පිතිකාරිනියන්ගෙන් මෙවර තරගාවලියේදී වැඩි දායකත්වයක් බලාපොරොත්තු වන බවත්, පන්දු යැවීමේ අංශයට නවක ක්‍රීඩිකාවන් කිහිපදෙනකු එක්ව සිටීම කණ්ඩායමේ විශේෂත්වයක් බවත් චමරි පෙන්වා දුන්නාය.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායිකා චමෝදි ප්‍රබෝධාද මෙවර සංචිතයට එක්ව සිටින අතර, අවාසනාවන්ත ලෙස ආබාධයකට ලක්වීම හේතුවෙන් දේව්මි විහංගාට තරගාවලිය අහිමි වී තිබේ. ඇය වෙනුවට වමත් දඟ පන්දු යවන නිමාෂා මීපගේ සංචිතයට කැඳවා ඇත.

ප්‍රධාන පුහුණුකරු ජේමි සිඩන්ස් යටතේ කණ්ඩායම ලබා ඇති ප්‍රගතිය පිළිබඳවද චමරි අතපත්තු සුබවාදී අදහස් පළ කළාය.

“ඔහු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන තුන්වැනි තරගාවලිය මෙයයි. ඔහු පැමිණීමෙන් පසුව කණ්ඩායමේ යම් යම් අංශවල පැහැදිලි ප්‍රගතියක් දැකගන්න පුළුවන්. තවදුරටත් වැඩිදියුණු කළ යුතු අංශ තිබෙනවා. නමුත් ඔහුගෙන් ලැබෙන ධනාත්මක බලපෑමක් අපට පැහැදිලිව දැකගන්න පුළුවන්,” යැයි ඇය පැවසුවාය.

අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් සහ නවක ක්‍රීඩිකාවන්ගේ සංකලනය ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන ශක්තියක් බවද චමරි සඳහන් කළාය.

විශේෂයෙන්ම විස්සයි20 ලෝක කුසලානයේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මිතලි අයෝධ්‍යා මෙන්ම පාකිස්තානයට එරෙහිව දක්ෂතා දැක්වූ චමෝදි ප්‍රබෝධා සහ සන්ජනා කාවින්දි වැනි තරුණ ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට වැදගත් වනු ඇති බවද ඇය පෙන්වා දුන්නාය.

“අත්දැකීම් සහ තරුණ ක්‍රීඩිකාවන්ගේ එකතුවක් තිබීම අපේ කණ්ඩායමේ විශාල ශක්තියක්. මේ සංයෝජනයත් සමග අපට හොඳ දක්ෂතාවක් දැක්විය හැකි බවට මම විශ්වාස කරනවා,” යැයි චමරි අතපත්තු වැඩිදුරටත් පැවසුවාය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම

චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා සමරවික්‍රම (උපනායිකා), ඉමේෂා දුලානි, සන්ජනා කාවින්දි, විශ්මි ගුණරත්නේ, කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, හසිනි පෙරේරා, කෞෂිනි නුත්‍යංගනා (කඩුලු රකින්නිය), නිමාෂා මීපගේ, සුගන්ධිකා කුමාරි, චමෝදි ප්‍රබෝධා, චෙතනා විමුක්ති, කව්‍යා කාවින්දි සහ මිතලි අයෝධ්‍යා.

ශ්‍රී ලංකාවේ ආසියානු කුසලාන තරග කාලසටහන

අගෝස්තු 29 – එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව
සැප්තැම්බර් 2 – ඉන්දුනීසියාවට එරෙහිව
සැප්තැම්බර් 6 – බංග්ලාදේශයට එරෙහිව
සැප්තැම්බර් 10 – පළමු අවසන් පූර්ව තරගය

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee