වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමේ ශ්රී ලංකා බලාපොරොත්තු බිඳ දමමින් ඇෆ්ගනිස්තානය හමුවේ ලකුණු 106ක පරාජයකට මුහුණ දීමට ශ්රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට අද (9) සිදු විය. ඒ අනුව තරගාවලියේ මූලික වටයේ දී සහභාගී වූ තරග තුනෙන් දෙකක් පරාජය වීම හේතුවෙන් ශ්රී ලංකා කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.
බී කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්රී ලංකා කණ්ඩායම තරගාවලිය ආරම්භ කළේ මැලේසියාව පරාජය කරමිනි. එහෙත් ඉන් අනතුරුව බංග්ලාදේශය හමුවේ පරාජය වූ ශ්රී ලංකා යෞවනයන්ට ඇෆ්ගනිස්තානය හමුවේ ද ජයග්රහණය කිරීමට නොහැකි විය. ඒ අනුව ඔවුන්ගේ ආසියානු කුසලාන ගමන මූලික වටයෙන්ම අවසන් විය.
ඕමානයේ අල් අමරාත් ක්රිකට් ක්රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්රී ලංකා නායක විරාන් චමුදිත පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන යෞවනයෝ පන්දුවාර 49.5කදී සියලු දෙනා දැවී ලකුණු 275ක් රැස් කළහ.
ඇෆ්ගනිස්තාන ඉනිම ශක්තිමත් කළ සුභන් ශඛීල් පන්දු 111කදී හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 107ක් රැස් කළේය. එය ඔහුගේ ඉනිමේ කැපී පෙනෙන දායකත්වය වූ අතර, ආරම්භක පිතිකරු අබිදුල්ලා නඩර්ජන් ද පන්දු 64කදී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 55ක් ලබා ගත්තේය.
පළමු කඩුල්ල ලකුණු 22දී බිඳ වැටුණ ද, දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 71ක සබඳතාවක් ගොඩනැගීමට නඩර්ජන් සහ සකීයිල් සමත් වූහ. අනතුරුව ෆයිසාල් රහමි පන්දු 43කදී ලකුණු 33ක් ද, තහීර් සර්වරි පන්දු 19කදී වේගවත් ලකුණු 32ක් ද රැස් කරමින් ඇෆ්ගනිස්තාන ලකුණු පුවරුව ඉහළ නැංවූහ.
ශ්රී ලංකාව වෙනුවෙන් දකුණතින් මඳ වේග පන්දු යැවූ සෙත්මික සෙනෙවිරත්න ලකුණු 44කට කඩුලු 3ක් දවා ගනිමින් සාර්ථකම පන්දු යවන්නා බවට පත් විය. විග්නේශ්වරන් ආකාශ් ලකුණු 60කට කඩුලු 2ක් දවා ගත්තේය.
ලකුණු 276ක ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා කණ්ඩායමේ ආරම්භය එතරම් සාර්ථක නොවීය. ලකුණු 15ක් වන විට පළමු කඩුලු තුනම අහිමි වූ ශ්රී ලංකා ඉනිමට යම් ජීවයක් එක් කිරීමට කිත්ම විතානපතිරණ සමත් විය.
ගිම්හාන් රසාංජන සමඟ එක්ව සිව්වැනි කඩුල්ලට ලකුණු 26ක් එක් කළ කිත්ම, අනතුරුව චනිරු සේනාරත්න සමඟ එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 53ක සබඳතාවක් ද ගොඩනැඟුවේය. එහෙත් එම උත්සාහයන් ශ්රී ලංකා කණ්ඩායම ජයග්රහණය කරා රැගෙන යාමට ප්රමාණවත් නොවීය.
ශ්රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කිත්ම විතානපතිරණ පන්දු 48කදී හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 58ක් රැස් කළේය. සෙත්මික සෙනෙවිරත්න ලකුණු 23ක් ද, නායක විරාන් චමුදිත ලකුණු 17ක් ද, ගිම්හාන් මෙන්ඩිස් ලකුණු 16ක් ද ලබා ගත්හ.
ශ්රී ලංකා පිතිකරුවන්ට දිගින් දිගටම පීඩනය එල්ල කළ නූර් අලී ලකුණු 35කට කඩුලු 4ක් දවා ගනිමින් ඇෆ්ගනිස්තාන පන්දු යැවීමේ පෙරමුණ ගත්තේය. අමීර් හම්සා, සොහෙයිල් ඛාන්, මොමොහඩ් අලී කඩුලු 2 බැගින් දවා ගත්හ.
ඒ අනුව ශ්රී ලංකා ඉනිම පන්දුවාර 34.1කදී ලකුණු 169කට සීමා වූ අතර, තවත් පන්දු 95ක් ඉතිරිව තිබියදී ඇෆ්ගනිස්තානයට ලකුණු 106ක ජයක් හිමි විය. තරගයේ වීරයා ලෙස ශතකයක් රැස් කළ සුභාන් සකීල් නම් කෙරිණි.
ඇෆ්ගනිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – 275 (49.5) – සුභාන් සකීල් 107, අබිදුල්ලා නජරාජන්, 55, ෆයිසාල් රෂිමි 33, තහීර් සර්වර් 32, සෙත්මික සෙනෙවිරත්න 44/3, විග්නේශ්වරන් ආකාශ් 60/2
ශ්රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – 169 (34.1) – කිත්ම විතානපතිරණ 58, සෙත්මික සෙනෙවිරත්න 23, විරාන් චමුදිත 17, ගිම්හාන් මෙන්ඩිස් 16, නූර් අලී 35/4, අමීර් හම්සා 42/2, සොහෙල් ඛාන් 42/2, මොහොමඩ් අලී 24/2





