“ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිවීම මට විශාල සතුටක් වගේම ගෞරවයක්. ඒ වෙනුවෙන් මගේ උපරිම දායකත්වය ලබාදීමට බලාපොරොත්තු වෙනවා” යැයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව නායිකා හර්ෂිතා සමරවික්‍රම පවසයි. ඇයගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම, නොවැම්බර් 12 වැනිදා සිට 25 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන්හිදී පැවැත්වෙන අයි.සී.සී. කාන්තා නැගී එන කණ්ඩායම් කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා අද (10 දා) දිවයිනෙන් පිටත්ව ගියේය.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි ගමන වෙනුවෙන් නව නායකත්වයක් අත්හදා බැලීමේ අවස්ථාවක් ලෙස මෙවර තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හර්ෂිතාට පවරා තිබේ. ක්‍රීඩිකාවන් 14 දෙනකුගෙන් සමන්විත සංචිතයේ උපනායිකාව ලෙස කවීෂා දිල්හාරි නම් කර ඇති අතර, ජ්‍යෙෂ්ඨ සහ යොවුන් ක්‍රීඩිකාවන්ගේ සංකලනයකින් කණ්ඩායම සමන්විත වේ.
තරගාවලියට පෙර කණ්ඩායමේ සූදානම පිළිබඳව අදහස් දැක්වූ හර්ෂිතා සඳහන් කළේ, ආසියානු ක්‍රීඩා තරගාවලියෙන් අනතුරුව සති දෙකක විවේකයක් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඉන් පසුව මෙවර තරගාවලිය ඉලක්ක කරගනිමින් පුහුණුවීම් ආරම්භ කළ බවයි.
“ලංකාවේ පැවැති කාලගුණික තත්ත්වයන් නිසා පුහුණුවීම් කටයුතු කරගෙන යාම පහසු වුණේ නැහැ. නමුත් අපට හැකි අයුරින් උපරිම පුහුණුවීම්වල නිරත වුණා. ඒ වගේම පුහුණු තරග කිහිපයකටත් ක්‍රීඩා කළා. ඒ නිසා හොඳ සූදානමකින් තරගාවලියට එක්වීමට බලාපොරොත්තු වෙනවා” යැයි ඇය පැවසුවාය.
පසුගිය ආසියානු කුසලාන තරගාවලියේදී මුහුණදීමට සිදුවූ තණතීරු තත්ත්වයන් ද මෙවර තරගාවලියට සූදානම් වීමේදී වැදගත් අත්දැකීමක් වූ බව හර්ෂිතා පෙන්වා දුන්නාය. එම තරගාවලියේදී මන්දගාමී තණතීරුවල ක්‍රීඩා කිරීමට සිදුවූ බැවින්, එවැනි තත්ත්වයන්ට හැඩගැසෙමින් තරග කිරීමට තම කණ්ඩායම අපේක්ෂා කරන බව ද ඇය සඳහන් කළාය.
කණ්ඩායමේ සංයුතිය පිළිබඳව ද විශ්වාසය පළ කළ නායිකාව, ජ්‍යෙෂ්ඨ මෙන්ම කනිෂ්ඨ ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත හොඳ සංචිතයක් තමන්ට ලැබී ඇති බවත්, කණ්ඩායමේ සියලුම ක්‍රීඩිකාවන් තම වගකීම් නිසි ලෙස ඉටු කරනු ඇතැයි විශ්වාස කරන බවත් පැවසුවාය.
මෙවර තරගාවලියට පූර්ණ සාමාජික රටවල් පහක් වන ශ්‍රී ලංකාව, අයර්ලන්තය, බංග්ලාදේශය, පාකිස්තානය සහ සිම්බාබ්වේයන රටවල්වලට අමතරව නෙදර්ලන්තය, පැපුවා නිව්ගිනියාව, ස්කොට්ලන්තය, තායිලන්තය සහ සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද එක්ව සිටියි.
කණ්ඩායම් 10 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන තරගාවලියේදී ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින අතර, එම කාණ්ඩයට අයර්ලන්තය, ස්කොට්ලන්තය, පැපුවා නිව්ගිනියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළත් වේ. පාකිස්තානය, බංග්ලාදේශය, තායිලන්තය, නෙදර්ලන්තය සහ සිම්බාබ්වේ ‘බී’ කාණ්ඩයෙන් තරග වදිති.
ශ්‍රී ලංකා කණ්ඩායම නොවැම්බර් 12 වැනිදා අයර්ලන්තයට එරෙහිව තරග වදිමින් සිය තරගාවලි ගමන ආරම්භ කිරීමට නියමිතය. කාණ්ඩ වටයේ තරග නොවැම්බර් 18 වැනිදා දක්වා පැවැත්වෙන අතර, එක් එක් කාණ්ඩයේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් තුන සුපිරි හය දෙනාගේ වටයට සුදුසුකම් ලබනු ඇත.
සුපිරි හය දෙනාගේ වටයේ තරග නොවැම්බර් 20, 22 සහ 23 යන දිනවල පැවැත්වෙන අතර, එම වටය අවසානයේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක නොවැම්බර් 25 වැනිදා කරවාන් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.
2025 වසරේදී පළමු වරට පැවැති මෙම තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට තායිලන්ත කණ්ඩායම සමත් වූ අතර, එහිදී කණ්ඩායම් අටක් තරග වැදුණි. මෙවර තරගාවලියට කණ්ඩායම් 10ක් එක්වීම විශේෂත්වයකි.
තරගාවලිය සඳහා දිවයිනෙන් පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සර්ව ආගමික වතාවත්වලට ද සහභාගි විය.





