slc
logo
Home   |    News
නොවැම්බර් 11, 2026
නැගී එන තරු ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා ‘ඒ’ මෙහෙයවීම පවන් රත්නායකට

sinhala editor

කටාර්හි දෝහා නුවරදී නොවැම්බර් 19 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වෙන ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) නැගී එන තරු පිරිමි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකත්වය පවන් රත්නායකට හිමිව තිබේ.

ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත මෙම කණ්ඩායමට ලසිත් කෲස්පුල්ලේ, නිශාන් මධුෂ්ක, නිපුන් ධනංජය සහ ජනිත ලියනගේ වැනි ජාතික මට්ටමේ අත්දැකීම් සහිත ක්‍රීඩකයන් මෙන්ම නැගී එන දක්ෂතා සහිත ක්‍රීඩකයන් කිහිපදෙනකු ද ඇතුළත් කර තිබේ.

දින 11ක් පුරා පැවැත්වෙන මෙම එක්දින තරගාවලියට කණ්ඩායම් අටක් සහභාගි වන අතර, එය එක්දින (List A) තරගාවලියක් ලෙස ක්‍රියාත්මක වේ. තරගාවලියට සහභාගි වන කණ්ඩායම් ‘ඒ’ සහ ‘බී’ වශයෙන් කාණ්ඩ දෙකකට බෙදා ඇති අතර, ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදිනු ඇත. එම කාණ්ඩයට බංග්ලාදේශ ‘ඒ’, ඇෆ්ගනිස්ථාන ‘ඒ’ සහ හොංකොං කණ්ඩායම් ද ඇතුළත් වෙති.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම තරගාවලියේ සිය පළමු තරගයට නොවැම්බර් 19 වැනිදා ඇෆ්ගනිස්ථාන ‘ඒ’ කණ්ඩායමට එරෙහිව සහභාගි වනු ඇත. එම තරගය දෝහාහි වෙස්ට් එන්ඩ් පාක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතය.

අනතුරුව නොවැම්බර් 21 වැනිදා හොංකොං කණ්ඩායමට එරෙහිව දෝහා විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේදී දෙවැනි තරගයට සහභාගි වන ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම, නොවැම්බර් 23 වැනිදා බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට එරෙහිව සිය මූලික වටයේ අවසන් තරගයට එක්වීමට නියමිතය. දෙවැනි තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 11.30ටත් තෙවැනි තරගය ප.ව. 3.30 ටත් ආරම්භ වනු ඇත.

මූලික වටයේ තරග අවසානයේ එක් එක් කාණ්ඩයේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත. නොවැම්බර් 26 සහ 27 යන දිනවල අවසන් පූර්ව තරග පැවැත්වෙන අතර, අවසන් මහා තරගය නොවැම්බර් 29 වැනිදා වෙස්ට් එන්ඩ් පාක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට මෙම තරගාවලිය ආසියානු කලාපයේ නැගී එන කණ්ඩායම් අතර සිය ශක්තිය විදහා දැක්වීමටත්, ජාතික කණ්ඩායමට පිවිසීමේ අපේක්ෂාවෙන් පසුවන ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර මට්ටමේ තරග අත්දැකීම් ලබාගැනීමටත් වැදගත් අවස්ථාවක් වනු ඇත.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම – පවන් රත්නායක (නායක), ලසිත් කෲස්පුල්ලේ, සිනෙත් ජයවර්ධන, නිශාන් මධුෂ්ක, නිපුන් ධනංජය, චාමික හීනටිගල, ජනිත් ලියනගේ, රවිඳු ප්‍රනාන්දු, විජයකාන්ත් වියස්කාන්ත්, ළහිරු සමරකෝන්, ගරුක සංකේත්, දුලාජ් සමුදිත, දුවිඳු රණතුංග, වනුජ සහන්, ශරූජන් ෂන්මුගනාදන්

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ තරග කාලසටහන

නොවැම්බර් 19 – ශ්‍රී ලංකා ‘ඒ‘සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘අතර වෙස්ට් එන්ඩ් පාක් ක්‍රීඩාංගණය

නොවැම්බර් 21 – ශ්‍රී ලංකා ‘ඒ‘ සහ හොංකොං අතර දෝහා විශ්වවද්‍යාල ක්‍රීඩාංගණය

නොවැම්බර් 23 – ශ්‍රී ලංකා ‘ඒ‘ සහ බංග්ලාදේශ ‘ඒ‘ අතර වෙස්ට් එන්ඩ් පාක් ක්‍රීඩාංගණය

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee