slc
logo
Home   |    News
මාර්තු 3, 2020
අමරණීය මතකයකින් ජගත් පිටියට සමුදුන් ශෂිකලා

Sri Lanka Cricket

By Chamila Karawita

සංවර්ධිත රටවල මෙන් නොව සංවර්ධනය වෙමින් පවතින රට වල ගැහැණු දරුවකුට ක්‍රීඩාවෙන් සාර්ථකත්වයට ළඟාවීම එතරම් පහසු ක්‍රියාවක් නොවන වග අමුතුවෙන් කිව යුතු නැත. කාන්තා ක්‍රීඩාවන් සඳහා එතරම් ජනප්‍රියතාවයක් සහ වෙළෙඳ පොළක් නොමැති වීම එයට හේතු වී තිබේ. එබැවින් කුඩා කාලයේ පටන් ක්‍රීඩාවට යොමු කරනවාට වඩා දෙමව්පියන් වැඩි උනන්දුවක් දක්වනු ලබන්නේ තම දරුවාව කෙසේ හෝ අධ්‍යාපනික අංශයෙන් උසස් තැනකට රැගෙන ඒමටය. එසේ වුවද උඩුගම් බලා පිහිණන ගැහැණු දරුවන් මෙන්ම දෙමව්පියෝද වෙති. මෙම සටහන තැබෙනුයේද එසේ උඩුගං බලා පීනමින් සාර්ථකත්වය කරා ළඟා වූ ක්‍රීඩිකාවක් පිළිබඳවය.

ඇය නමින් ශෂිකලා සිරිවර්ධනය. නම ඇසූ සැනින් ඇය කවුරුන්ද යන්න අටුවාටීකා අනවශ්‍යය. එක්දින කණ්ඩායමේ නායිකාව ලෙසින් කටයුතු කරන ශෂිකලා මාර්තු දෙවැනිදා දක්වා කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකාව වූවාය. වසර 18 කට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකා කාන්තා පිල නියෝජනය කරන අප කථා නායිකාවට ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය විශේෂිත එකක් වූවාය. ඒ එම තරගාවලියෙන් පසු ශෂිකලා තම ජාත්‍යන්තර තරග දිවියට සමුදුන් බැවිනි.

කුඩා කල සිටම තම සිහිනයන් සැබෑ කර ගැනීමට නිරන්තරයෙන්ම උත්සාහ ගනු ලැබූ ශෂිකලාගේ සමුගැන්ම පිළිබඳව සටහනක් තැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කරන ලද්දේද මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිදුකර ඇති සුවිශේෂී මෙහෙවරට ඇගයීමක් ලබාදීම වෙනුවෙනි.

සිය පියාගේ උනන්දු කරවීම මතම ක්‍රිකට් ක්‍රීඩාවට නැඹුරු වුණු ශෂිකලා දකුණතින් පන්දුවට පහර දෙන අතර දකුණතු පිට දඟ පන්දු යවන්නියක් ලෙස කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට පණ පෙවීය. 2003 වසරේදී ප්‍රථමයෙන්ම ජාත්‍යන්තර වරම් ලබා ගත් ඇය මේ වන විට පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලි 4 කට සහ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලි 3 කටද දායකත්වය ලබා දී තිබේ. ඇයගේ සමුගැන්ම සටහන් වුණු මෙම ලෝක කුසලාන තරගාවලිය ඇයගේ සිව්වැනි විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය විය.

සිය වැඩි මහල් සහෝදරයා සමඟින් ක්‍රිකට් ක්‍රීඩා කළ ශෂිකලා තම පියාගේ මිත්‍රයකු සිදුකරන ලද රෙකමදාරු කිරීම මත ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වූවාය. 2000 වසරේ සිට ප්‍රථම ලෙදර් පන්දු තරගයට ක්‍රීඩා කරන ඇය 2003 වසර වන විට ජාතික කාන්තා ක්‍රිකට් සංචිතයට තේරීමට තරම් දක්ෂතාවයන් වලින් පිරිපුන් වූවාය.

දේශීය තරගාවලියේදී දක්වන ලද දක්ෂතා හේතුවෙන් ජාතික සංචිතයට ඇතුළුවීමට වරම් ලබන ඇය 2003 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිම ප්‍රථම වතාවට ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කළාය. කණ්ඩායමට පැමිණීමේදී පන්දු යවන්නියකගේ භූමිකාවට පණ පෙවූ මේ කුඩා ක්‍රීඩිකාව පසු කළෙක කණ්ඩායමේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව බවට පත් වන්නේ කුමන බාධයක පැමිණියද තම සිහිනය කරා යන අධිෂ්ඨානශීලී ශක්තිය කුඩා කල සිටම හුරුව සිටි නිසාය.

ජාත්‍යන්තරට පය තැබූ වකවානුවේදී අංක 8 හෝ 9 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි ඇය පිතිකරණයෙන් කණ්ඩායමට දායකත්වයක් අවශ්‍ය වන අවස්ථාවන්වලදී දක්වන ලද දක්ෂතා හේතුවෙන් පන්දු යැවීමට මෙන්ම පන්දුවට පහර දීමටද හැකියාවක් ඇති ක්‍රීඩිකාවක් බව පෙන්නුම් කළාය. පුහුණුකරුවන්ගේ උපදෙස් අනුව පන්දුවට පහර දීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ ශෂිකලා මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග අංශයේ ලකුණු 2000 ක් සහ කඩුලු 100 ක් සහ විස්සයි-20 තරග අංශයේ ලකුණු 1000 ක් සහ කඩුලු 50 ක් දවාගන්නා ලද එකම ආසියානු ක්‍රීඩිකාව බවට පත්වීමට සමත්වන්නීය.

දිගින් දිගටම ජාත්‍යන්තරයේ දක්ෂතා දැක්වීමට සමත්වීම මත ලෝඩ්ස්හි පැවැති ලෝක කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලද ප්‍රථම පළමු ක්‍රීඩිකාව බවට ශෂිකලා පත්වූවාය. එපමණක් නොව ආසියානු ක්‍රිකට් කණ්ඩායමටද එක්වීමට තරම් ශෂිකලා වාසනාවන්ත වූවාය. එතැනින් නොනැවතුණු ඇය පසු කළෙක ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තුන් ඉරියව් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමෙහි අංක 1 ස්ථානයට පැමිණි පළමු ආසියානු ක්‍රීඩිකාව බවටද පත්වූවාය. ජගත් ශ්‍රේණිගත කිරීමකදී කාන්තා ක්‍රීඩිකාවක් අංක 1 ට පැමිණි පළමු අවස්ථාව වශයෙන්ද එම අවස්ථාව සනිටුහන් වීය.

ක්‍රීඩිකාවක් වශයෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත්වීම නිසා 2005 වසර වන විට කණ්ඩායමේ නායිකාව ලෙසද පත්වීම් ලබන ශෂිකලා, එදා සිට මේ දක්වා අවස්ථා ත්‍රිත්වයකදී ශ්‍රී ලංකා පිල මෙහෙයවූවාය. මෙරට කාන්තා කණ්ඩායමක නායිකාව බවට පත්වූ ළාබාළතම ක්‍රීඩිකාව වූ ශෂිකලා සමුගන්නා විටද එක්දින කණ්ඩායමේ නායිකාව ලෙසින් කටයුතු කළාය.

ඇයගේ කැපී පෙනෙනම ලෝක කුසලාන තරගාවලිය බවට පත්වූයේ 2013 වසරේ පැවැති තරගාවලිය වේ.  එතෙක් කලක් සහභාගිවූ සෑම ලෝක කුසලාන තරගාවලියකදීම හයවැනි හෝ හත්වැනි ස්ථානවලට පත්වෙමින් ලෝක කුසලාන ගමන හමාර කරන ශ්‍රී ලංකා කණ්ඩායමට එම තරගාවලියේදී ශෂිකලාගේ නායකත්වය යටතේ පස්වැනි ස්ථානයට පත් වෙමින් අවසන් කිරීමට අවස්ථාව උදාවිය. වත්මන් කණ්ඩායමේ පුහුණුකරු හර්ෂ ද සිල්වා පුහුණුකරු ලෙසින් කටයුතු කරන ලද එම ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලොව ප්‍රබලම කණ්ඩායම් වුණු ඉන්දියාව සහ ප්‍රබල එංගලන්ත කණ්ඩායම් පරාජයට පත් කිරීමට සමත්වීම කැපී පෙනුණි.

පුහුණුකරුවා කැපී පෙනීමටත් නායිකාව කැපී පෙනෙන්නටත් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් දක්වනු ලබන දක්ෂතා මත පදනම්ව ය යන්න නිරන්තයෙන්ම විශ්වාසය පළ කළ දකුණත් පිතිකාරිණිය විස්සයි-20 තරග අංශයේදී හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පත්වීමටද සමත්වූවාය.

නායකත්වයේ සුක්ඛානම ශෂිකලා භාර ගන්නා විට යන්තමින් 20 වැනි විය ඉක්මවා සිටියාය. දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට කැපී පෙනෙන දායකත්වයක් දක්වන ලද ශෂිකලා සමුගන්නා විට 35 වැනි විය ගෙවා දමමින් සිටියාය.

තම ජීවිතයේ වැඩි කාලයක් ක්‍රිකට් වෙනුවෙන් කැප කළ මේ තුන් ඉරියව් ක්‍රීඩිකාව ඉකුත් පෙබරවාරි 21 වැනිදා ආරම්භ වන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා පිටත්ව යෑමට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත මුණ ගැසෙන්නේ තරගාවලියට පිටත්ව යෑම සඳහා ආගමික වතාවත් වල නිරත වීමට ක්‍රිකට් මූලස්ථානයට පැමිණි අවස්ථාවේදීය.

සිය අවසන් තරගාවලියට පිටත්ව යෑමට පෙර තම හඬ අවදි කළ ශෂිකලා මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී මූලික වටයේ සිට දෙවැනි වටය දක්වා තම කණ්ඩායම රැගෙන ඒම වෙනුවෙන් සිය උපරිමය ලබා දීමට බලාපොරොත්තුවෙන් පසුවන බව සඳහන් කඑ සිටියාය. එහෙත් බංග්ලාදේශ තරගය හැර සෙසු තරග පරාජයට පත්වීම නිසා ඇයගේ සිහිනය බොඳවිය.

ඒ කාණ්ඩය යටතේ තරග වැදි ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරග 3 පරාජයට පත් වූ නමුත් අප කථා නායිකාවගේ දක්ෂතා නිසා බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකියාව ලැබිණ. එම තරගයේදී ලකුණු 16 කට ප්‍රතිවාදී පිලේ කඩුලු 4 ක් දවා ගැනීමට සමත්වූ ශෂිකලා ජාත්‍යන්තර තරග පිටියෙන් නික්ම ගියේ තරගයේ වීරවරියට හිමි සම්මානය දිනා ගැනීමේ අමරණීය මතකයක් එකතු කරගනිමිනි.

Active filters

Recent Posts

  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]
  • දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම කඩුලු හතකින් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සෙනසුරාදා (13) කිම්බර්ලි නගරයේ ඩයමන්ඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමඟ පැවැති දෙවැනි එක්දින තරගයේදී සත්කාරක දකුණු […]

Pin It on Pinterest

USD United States (US) dollar